Saturday, May 11, 2024

General line - 0115112241

නඩු විභාගය අවසන් - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන සතියේ ?

සමන්ත කුමාර




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන සතියේදී ලැබෙනු ඇතැයි විවිධ පාර්ශව මත පළ කරනවා. 

අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරුණු දීර්ඝ පෙත්සම් විභාගය ඊයේ රාත්‍රියේ (07) අවසන් වුනා. කෙසේ වෙතත් එහිදී තීන්දුවක් ප‍්‍රකාශයට පත් කෙරුණේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත් කරන තුරු බලපැවැත්වෙන වන පරිදි නියෝගයක් නිකුත් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා.

පෙත්සම්කාර පාර්ශවයන් මෙන්ම මැදිහත්කාර පාර්ශවවල අදහස වන්නේ මෙම තීරණාත්මක නඩු තීන්දුව දින කිහිපයක් ඇතුළත ලැබෙනු ඇති බවයි. එහෙත් අධිකරණ කි‍්‍රයාවලිය අනුව එම තීන්දුව ප‍්‍රකාශයට පත්කරන දිනයක් නිශ්චිතව අනුමාන කළ නොහැකි බවද එම පාර්ශව පෙන්වා දෙනවා. 

ඒ පිළිබද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පැවසූවේ මෙම අර්බුධය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය හැකි ඉක්මණින් තීරණයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

 

මෙම නඩුවේ අතරමැදි පාර්ශවකරුවෙකු ලෙස ඉදිරිපත් වූ නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත පැවසුවේ මෙවැනි සුවිශේෂි නඩුවක තීරණයක් ලබා දීමට යම්කිසි කාලයක් ගත වන බවයි.

 

නඩුවේ තවත් පාර්ශවකරුවෙකු ලෙස ඉදිරිපත් වූ මහාචාර්ය චන්න ජයසුමනද ඒ පිළිබද අදහස් පළ කළා.