Tuesday, May 14, 2024

General line - 0115112241

මාතර සිට ඉදි වූ නව දුම්රිය මාර්ගයේ අද පළමුවරට දුම්රියක් යයි - නව මාර්ගයේ විශේෂතා රැසක්

නිශාන් ද සිල්වා




මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදි කෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමුවරට අද (06) නිරීක්‍ෂණ දුම්රියක් ධාවනය කෙරෙනවා. ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංගද එම නිරීක්‍ෂණ චාරිකාවට එක්වීමට නියමිතයි. 

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු වන්නේ අදියර තුනකින්. එහි පළමු අදියර යටතේ කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස ඉදිකෙරුණා.

එහි දෙවැනි අදියර බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන අතර එහි මුළු දුර කිලෝමීටර් 48ක්.

තෙවැනි අදියර හම්බන්තොට සිට කතරගම දක්වා ඉදිකෙරෙන අතර එහි මුළු දුර කිලෝමීටර් 39කින් යුක්තයි. 

මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප‍්‍රධාන දුම්රිය ස්ථාන හතරකින් සමන්විත අතර කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත එම දුම්රිය ස්ථාන වනවා. පිලදුව, වෙහෙරහේන යන ස්ථානවල උප දුම්රිය ස්ථාන 02ක් ස්ථාපිත කර තිබෙනවා. උප දුම්රිය ස්ථාන 02 හැර අනෙකුත් සියලූම දුම්රිය ස්ථාන දුම්රිය වේදිකා 03කින් සමන්විතයි. ප‍්‍රධාන දුම්රිය ස්ථානය වන බෙලිඅත්ත දුම්රිය ස්ථානය මීටර් 110ක දිගින් යුතු දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලකින් සමන්විත වනවා. මීටර් 250 - 300 පමණ දිගකින් යුතු වේදිකා 3 ක්ද බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ඉදිකර තිබෙනවා. දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මගීන්ට මාරුවීමට මගී ගුවන් පාලම් වෙනුවට මගී උමං මාර්ග ඉදිකිරිමද විශේෂත්වයක්. 

බෙලිඅත්ත මෙන්ම සෙසු දුම්රිය ස්ථානවලද මගී ගුවන් පාලම් වෙනුවට දක්නට ලැබෙන්නේ මගී උමං මාර්ගයි. ලංකාවේ දිගම දුම්රිය උමඟද පිහිටා ඇත්තේ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වන අතර එය නාකුට්ටිගම ප‍්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටා තිබෙනවා. එම දුම්රිය උමගේ දුර මීටර් 615 ක්. මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ 10% පමණ දිවෙන්නේ ගුවන් පාලම් මතින්.

එහි මාතර කැකණදුර දක්වා කොටසේ එක් ගුවන් පාලමක්ද, බඹරැන්ද  සිට වැව්රුකන්නල දක්වා ඉදිකර ඇති අතර, එම ගුවන් පාලමේ දිග කිලෝමීටර් එකහමාරක්. එම ගුවන් පාලම මෙරට උසම හා දිගම දුම්රිය ගුවන් පාලම ද වනවා. මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකර ඇත්තේ නිල්වලා ගඟ හරහායි. මෙම දුම්රිය මාර්ගයේ හරස් මාර්ග 18 කින් සහ පාලම් 12 කින් සමන්විත වනවා.