Wednesday, May 15, 2024

General line - 0115112241

කථානායක අගමැති සහ විපක්ෂනායක ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී ගත් තීරණ මෙන්න




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (07) පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  රැස්වුණා.

අද දින ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුයේ  පුරප්පාඩු වී පවතින උපරිමාධිකරණ විනිසුරු ධූරයන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කර තිබූ  නිර්දේශයන් පිළිබඳවයි.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවුණා.

එමෙන්ම, පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනාධිපතිවරයා විසින් මින් පෙර නිර්දේශ කරන ලදූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබූ නාමයන් ද අද දින රැස්වීමේ දී යළි තහවුරු කර තිබුණා.

ඒ අනූව ජනාධිපතිගේ නිර්දේශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් උපරිමාධිකරණ අධිකරණ විනිසුරු ධුර  04 ක් සඳහා (ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු ධුර 03, අභියාචනාධිකරණ විනිසුරු ධුර - 01)  නව පත්වීම් සිදු කිරීමට නියමිතයි.

අද දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සහභාගී වූ සාමාජිකයන් පහතින් දැක්වෙයි.

  • කථානායක  කරු  ජයසුරිය මහතා     -           (සභාපති)
  • අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතා    -           (සාමාජික)
  • විපක්ෂ  නායක මහින්ද  රාජපක්ෂ මහතා -      (සාමාජික)
  • ඇමතිනී තලතා  අතුකෝරාල  මහත්මිය  -      (සාමාජිකා)
  • පාර්ලිමේන්තු  මන්ත්‍රි  බිමල්  රත්නායක  මහතා - (සාමාජික)
  • ජයන්ත  දනපාල  මහතා                     -           (සාමාජික)
  • නාගානන්ද සෙල්වකුමාරන්  මහතා  -           (සාමාජික )
  • ජාවේඩ් යුසුෆ්  මහතා                        -           (සාමාජික)