Wednesday, May 15, 2024

General line - 0115112241

බුදුපිළිමවලට ප්‍රහාර එල්ල කරන පිරිස් ඇල්ලීමට මුස්ලිම් ජනතාව සහය දිය යුතුයි

චිරාන් ධර්මසේන




මහනුවර හා මාවනැල්ල යන ප‍්‍රදේශවල බුදුපිළිම කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නැතැයි සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානය පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් අබ්දුල් රාසික් පවසන්නේ තම සංවිධානය අදාල ක‍්‍රියාව තරයේ හෙලා දකින බවයි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සමග ඊයේ (06) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. සිංහල බෞද්ධ ජනතාව සමග සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වීම තම අරමුණ බවයි ඔහු එහිදී අවධාරනය කළේ.  

අබ්දුල් රාසික් කලක් ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංව්ධානයට සම්බන්ධව කටයුතු කලා. නමුත් පරිපාලන ගැටලුවක් මුල්කර ගනිමින් තමන් ඉන් ඉවත් වූ බවයි ඔහු එහිදී ප‍්‍රකාශ කළේ. 

ඉකුත් දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්ගෙන් අවස්ථාවන් ඉල්ලා තිබුනා. ඒ අනුවයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. 

මෙහිදී අදහස් දැක්වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සඳහන් කළේ ආගමික ස්ථානවලට පහරදෙන පිරිස් අල්ලා නිතිය හමුවට ඉදිරිපත් කිරීමට සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානය ආරක්ෂක අංශවලට සහාය ලබාදිය යුතු බවයි. 

එමෙන්ම ජාතීන් අතර සමගිය, සහජීවනය සුරක්ශිත කිරීම සැමගේ වගකීමක් බවද උන්වහන්සේ එහිදී අවධාරණය කළා. තමන් වහන්සේ තවදුරටත් එම ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.