Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපතිගේ ස්ථාවරය ගැන එජාපය ප්‍රතිචාර දක්වයි

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




තම පක්ෂය ද පළාත් සභා මැතිවරණයට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13) කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් අමතමින් ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙසයි.

එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප‍්‍රකාශ කළේ පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි. එබැවින් ජනාධිපතිවරයා ඊයේ සිදු කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂයෙන් විමසීමක් කළා.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන සඳහන් කළේ පළාත් සභා මැතිවරණයක් නම් තියන්නට අවශ්‍ය වන්නේ නව මැතිවරණ ක්‍රමයක් සමග ජනතාවට පොරොන්දු වූ මැතිවරණ ක්‍රමය පැවැත්විය යුතු බවයි. 

පළාත් සභා රැසකම නිල කාලය අවසන් වී ඇති පසුබිමක එම මැතිවරණය නොතබා ජනාධිපතිවරයක් පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරන්නේ මන්දැයි නෙත් නිවුස් මෙහිදී යළි ප‍්‍රශ්න කළා. එහිදී ජනාධිපතිවරණයක අවශ්‍යතාවය රටට ඇති බවයි පෙන්වා දුන්නේ. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම ප‍්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයට පෙර කඩිනමින් පළාත් සභා මැතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ "පළාත් සභා මැතිවරණය ඉක්මණින් තියන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ.  දින 50 ආණ්ඩුව තුළ අපි මේක සම්මත කළ.. මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්විය යුතුයි කියලා.  සම්මත කරපු කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට ගෙනාවා නම් අපි සියලු දෙනාම ඒකට සහයෝගය දෙනවා. එහෙම නැත්නම් අපිට සිද්ද වෙනවා අපේ මහඇමතිවරයෙක් හරහා නඩුවකට යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ." යනුවෙනි. 

පළාත් සභා මැතිවරණය කල්යාම සම්බන්ධයෙන් නෙත් නිවුස් ජනතා විමුක්ති පෙරමුණෙන් ද විමසීමක් කළා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ සිය පක්ෂය සිටින බවයි. 

 එහිදී "පළාත් සභා ඡන්දය පවත්වන්න නම් පාර්ලිමේන්තුවේ යළික් තුනෙන් දෙකක අනුමැතියක් සහිතව ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු වනවා... ජනතාව එපා කියපු මනාප ක්‍රමය යළි ගෙන ඒම සඳහා." යනුවෙන් ද සඳහන් කළා. 

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්යාම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය ද ඉකුත්දා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. සීමානිර්ණය ප‍්‍රමාද වීම හේතුවෙන් මේවනවිට පළාත් 06ක මැතිවරණය දින නියමයක් නොමැතිව කල් ගොස් තිබෙනවා. සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත්සභාවල කාලය අවසන් වූයේ් මීට වසරකුත් මාස 04කට පෙරයි. මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභාවල කාලය අවසන් වී මාස 04කට ආසන්න වනවා. තවත් පළාත් 02ක නිල කාලය එළඹෙන අපේ‍්‍රල් මාසයෙන් අවසන් වීමට නියමිතයි.