Tuesday, May 14, 2024

General line - 0115112241

බඩ ඉරිගු වගාව ඉවරයි - දැන් වී වගාව පරීක්ෂා කරන්නැයි ගොවීන්ට දැනුම් දෙයි

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




මෙරට කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ මේ දිනවල කතාබහට ලක් වී ඇති සේනා දළඹුවා වී වගාව ද ආක‍්‍රමණය කරනු ඇති බවට සැක පළ වී තිබෙනවා. 

මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව සේනා දළඹුවාගේ ආක‍්‍රමණයට ලක් නොවූ ප‍්‍රදේශ වන්නේ නුවරඑළිය සහ යාපනයයි. මෙම දළඹුවාගේ බලපෑමෙන් බඩ ඉරිගු වගාවට දැඩි බලපෑමක් එල්ල වුණා.

එබැවින් වී වගාවටද මෙය ව්‍යාප්ත වුවහොත් එමගින් ද විශාල අස්වනු හානියක් සිදුවනු ඇති බව කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පෙන්වා දෙනවා. පවතින අවදානමට මුහුණදීමට සූදානම්දැයි නෙත් නිවුස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් සඳහන් කළේ " බඩ ඉරිගු වගාව ඉවර වේගෙන එනකොට දැන් මේ සතා වී වගාවට යෑමට හැකියි කියලා අපි අනුමාන කරනවා.  අපි ගොවි මහත්තුරුන්ගෙන් ඉල්ලීමක් කරනවා වී වගාව මැදට ගිහින් හැමදාම පරීක්ෂා කරලා බලන්න මේ සත්තු ඉන්නවාද කියලා. එහෙම ඉන්නවා නම් වහාම ඒ සත්තු මර්දනය කරන්න කටයුුතු කරන්න." යනුවෙනි. 

සේනා දළඹුවාගේ ආක‍්‍රමණයෙන් ගොවීන් බේරා ගැනීම සඳහා ඉදිරියේ දී නව වැඩපිළිවෙලක් සකස් කරන බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.

කෙසේවෙතත් සේනා දළඹුවා මර්දනයට ගෙන ඇති පියවර ප‍්‍රමාණවත් නොවන බව ගොවි සංවිධාන ප‍්‍රකාශ කළා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව පෙන්වා දෙනවා. 

මෙවන් තත්ත්වයක් තුළ අලෙවිය සඳහා රැගෙන එන බඩ ඉරිගුවල සේනා දළඹුවන් හෝ කීටයන් සිටීදැයි පරීක්ෂා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා. එම සංගමය කියා සිටියේ ජනතාව ද ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.