Tuesday, May 14, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු නොසන්සුන්තාවයේ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයාට

ලහිරු කපුගේ




පාර්ලිමේන්තුවේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාවට අදාළ පරීක්ෂණ වාර්තා නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඒ, සිද්ධියට සම්බන්ධ පිරිස්වලට එරෙහිව ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමේ අරමුණින්.

කථානායකවරයා මෙරටට පැමිණීමෙන් පසු ඊට අදාළ ඉදිරි පියවර සිදු වනු ඇති. එම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ දීර්ඝ ක්‍රියාවලියකින් පසු බාධා කළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව ඇති බවයි.  

ඉකුත්දා ඇති වූ මෙම නොසන්සුන්තාව පිළිබඳ සොයා බැලීම සඳහා කථානායකවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබුවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරියි. ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ද සිදු කෙරුණු බවයි. 

මේ අතර මෙම නොසන්සුන්තාව ඇති වූ දින 02 දී ඊට සම්බන්ධ වූ මන්ත‍්‍රීවරුන්ට එම දින 02 වෙනුවෙන් ප‍්‍රවාහන දීමනා ගෙවා ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ මහජන මුදලින් එලෙස ප‍්‍රවාහන දීමනා ගෙවීම කණගාටුදායක සිද්ධියක් බවයි. 

තමා තෝරා ගන්නා මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණ ගැනීමට මෙයද හොඳ සාධකයක් කරගත යුතු බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.