Tuesday, May 21, 2024

General line - 0115112241

රංගන ශිල්පී රයන්ගේ රහසිගත බෑගය කුඩු ප්‍රවාහනයට යොදා ගත් මලු වලට සමානයි - අමල්ගේ සොහොයුරු සොහාන් පෙරේරාගෙන් ප්‍රකාශයක් ගෙන නිදහස් කරයි

හේමන්ත කහවලගේ




ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ දෙහිවල, අත්තිඩිය ප‍්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගත් සැකකටයුතු ගමන් මල්ල පිළිබද තවදුරටත් පුළුල් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි. 

ඊයේ පස්වරුවේ (07) පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ නිවස පරීක්‍ෂාවට ලක්කරනු ලැබුවා. එහිදී සොයා ගැණුනු රහසිගත සිදුරක් සහිත කළු පැහැති අදාළ ගමන් මල්ල කුමන කටයුත්තක් සදහා භාවිත කළේ දැයි සොයා පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා. 

අදාළ ගමන් මල්ල ඉකුත්දා දෙහිවල අත්තිඩිය ප‍්‍රදේශයේදී විදේශිකයින් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් හෙරොයින් අසුරා තිබූ ගමන් මළුවලට සමාන බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා. රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ නිවසේ තිබි සොයාගත් ගමන් මල්ල හෙරොයින් ප‍්‍රවාහනයට යොදාගෙන ඇත්දැයි සොයා මේ වනවිට පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.

මීට අමතරව රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ නිවසේ තිබි මත්ද්‍රව්‍ය කිරීමට යොදාගන්නා ඩිජිටල් තරාදියක්ද සොයා ගැණුනා. ඒ අවස්ථාවේ අදාළ නිවසේ සිටි රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ සොහොයුරා ද සැකපිට අත්අඩංගුවට ගැනීමටයි පියවර ගැණුනේ.

ඊයේ පස්වරුවේම ගායන ශිල්පී අමල් පෙරේරාගේ නිවසද පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පරීක්‍ෂාවට ලක්කරනු ලැබුවා. මහරගම ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා හිස් කොපු දෙකක් සොයා ගැණුනා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරා වන සොහාන් පෙරේරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා පළ වුවද ඔහු ඊයේ රාති‍්‍රයේ ෆේස්බුක් ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් ප‍්‍රකාශ කළේ තමන් අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති බවයි. අමල් පෙරේරාගේ සොහොයුරාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගෙන මුදාහැරි බව පොලිසීයේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී තහවුරු කළා.

මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන්ම මේ වනවිට විශේෂ පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මක බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.