Wednesday, May 22, 2024

General line - 0115112241

කොකේන් භාවිතා කරන ඇමතිවරුන් ගැන ප්‍රකාශයට අදාළව රන්ජන්ගෙන් තවත් හෙළිදරව්වක්

සමන්ත කුමාර




කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට සිදු කළ ප‍්‍රකාශය හේතුවෙන් තමන් එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුවක් හමුවට කැඳවීමේ සූදානමක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් දා සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ ඒ පිළිබඳ නිල වශයෙන් පක්ෂය දැනුවත් කළ හොත් අදාළ පිරිසට එරෙහිව කි‍්‍රයාමාර්ග ගත හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඔහු ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ "මට තාම වාචිකවත් ලිඛිතවත් කවුරුත් දැනුම් දුන්නේ නෑ. මාධ්‍ය හරහා තමයි ඒක දැක්කේ. අපේ පක්ෂයේ අය ගැන විතරක් මෙහෙයි මම මේ හෙළිදරව්ව කරන්නේ. කබීර් හෂීම් මහත්තයා මට කතා කළොත් ඕනම අවස්ථාවක මම සූදානම්. මට වෙනම ආරංචියකුත් තියෙනවා.. එජාප විනය කමිටුව ඉදිරියට මාව කැඳවන්න යනවා කියලා. මට නාමයෝජනා ලබා දෙන්නේ නෑ කියලත් කතාවක් ආවා. මට ඒක අදාළ නෑ. මා ළඟ මේක සත්‍ය බවට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. පාර්ලිමේන්තුවේ බොහෝ අය දන්නවා තමන්ගේ මිතුරන් මේක පාවිච්චි කරනවා කියලා." යනුවෙනි.  

තමන් සිදු කළ ප‍්‍රකාශය කිසිසේත් ඉල්ලා අස් කර නොගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳ ලිඛිතව තමන් වෙත දැනුම් දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දැනුම් දී තිබෙනවා. 

ඒ, කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා දුරකතනය ඔස්සේ කථානායකවරයාට කරුණු දැක්වූ අවස්ථාවේයි. එවැනි මන්ති‍්‍රවරුන් පිළිබඳ ලිඛිතව කරුණු දැක්වුවහොත් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම් බවයි කථානායකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් ඊයේ (19) රාති‍්‍රයේ 08.00 පමණ වනවිටත්, එවැනි ලිඛිත දැනුම්දීමක් රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කර නොතිබූ බවයි කථානායක කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.