Tuesday, May 21, 2024

General line - 0115112241

කොකේන් භාවිතා කරන ඇමතිවරුන්ට පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ හැකිද? - පොලිසියෙන් පැහැදිළි කිරීමක්

ඉෂාර සුපෙම් මානගේ




කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටී නම් ඒ පිළිබඳව පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර nethnews.lk කළ විමසීමකදී පැහැදිළි කිරීමක් සිදු කළා.

nethnews.lk මෙම විමසීම සිදු කළේ  කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදු කර ඇති ප්‍රකාශය පදනම් කරගනිමින්.

මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ "මෙම සිද්ධිය ගැන පොලිසියට පැමිණිල්ලක් සිදු කළොත් පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ කරුණු දෙකක් මතයි. එකක් යම් පුද්ගලයෙක් සන්තකයේ විෂ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා පැමිණිල්ල හෝ තොරතුර එන්න ඕනේ. නැත්නම් යම් පුද්ගලයෙක් මේ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරලා කලහාකාරී ලෙස සාමය කඩවන ලෙස හැසිරෙනවා කියලා පැමිණිල්ල හෝ තොරතුර එන්න ඕනේ. මෙම තත්ත්වයන් දෙක මත තමයි පොලිසිය මැදිහත් වෙන්නේ. " යනුවෙනි.

එසේ නොමැතිව සිදු කරන ප්‍රකාශ පොලිසියට අදාළ නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. කෙසේවෙතත් කවුරුන් හෝ ද්වේෂ සහගත ලෙස යම් පුද්ගලයෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පැමිණිල්ලක් පොලිසියට සිදු කළහොත් පැමිණිල්ල සිදුකළ පුද්ගලයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වෙන බවයි සඳහන් කළේ.