Wednesday, May 22, 2024

General line - 0115112241

විපක්ෂයේ මන්ත්‍රිවරු අද විවාදයට හොඳින් සූදානම් වෙයි

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




ව්‍යවස්ථාදායක සභාවේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් අද (21) පැවැත්වෙනවා. අදාළ යෝජනාව ඉදිරිපත් කරන්නේ පර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලයි.

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සම්බන්ධයෙන් ඉකුත් දිනවල දැඩි කතාබහක් මතුවුණා. මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව විසින් ජ්‍යෙෂ්ඨත්වය නොසලකා පක්ෂග‍්‍රාහීව කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වන බවයි. 

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ පැවති මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ මූලික වශයෙන් සාකච්ඡා කළේ ව්‍යවස්ථාදායක සභාවේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය පිළිබඳව බවයි.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. 

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන කල් තැබීමේ විවාදයේ දී එහි නිරුවත රටට හෙළි කරන බවයි.