Tuesday, May 21, 2024

General line - 0115112241

රන්ජන් සහ කථානායක අතර දුරකතන සංවාදයක් - කොකේන් සිද්ධියේ අඩියක් පස්සට ගන්න රන්ජන්ට සිදුවෙයි

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




කථානායකවරයා කරන ලද ඉල්ලීමක් අනුව කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් තමන් ගෙන ගිය සටන තාවකාලිකව ප‍්‍රමාද කරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

ඒ, නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින්.

එහිදී "කථානායකතුමා පිළිඅරන් තිබුණා එතුමට දුරකථනයෙන් නම් ටික කිව්වයි කියලා. ඊට පස්සේ කථානායකතුමා මට ඊයෙත් කථා කරලා..අදත් කථා කරලා කිව්වා.. රන්ජන් මම වැඩිහිටියෙක් හැටියට මේ කරන යෝජනාව පිළිගන්න... අපේ හියුමන් රයිට්ස් කොමිෂන් එක එනවා අගෝස්තුවල. එතකොට අපේ පාර්ලිමේන්තුවට හොඳම මොඩලයේ පාර්ලිමේන්තුව කියලා..සම්මානයක් ලැබෙන්න තියෙනවා. එතකොට මේ ඉෂූ එක ආවොත් ඉන්ටර්නැෂනල් මීඩියා ගොඩක් පික් කරයි ඒක. ඒ නිසා පොඩ්ඩක් ස්ලෝ වෙන්න.. එහෙම කරන්න එපා කියලා.. ඉල්ලීම කළා. ඒකයි මං පොඩ්ඩක් අඩියක් පස්සට ගත්තේ. මම මේ පටන් ගත්ත සටන දැන් මට නවත්වන්න බෑ. මේකෙන් ගොඩක් අයගෙ හිත රිදිලයි තියෙන්නේ. මම කියන්නේ අබ කාපු අයට ඉන්න බෑ වගේ... හොරකම් කරපු අය සන්සුන් නෑ... ඒ වගේම කොකේන් ගහපු අයත් සන්සුන් නෑ. කලබල වෙන්න ඕනේ නෑ..පරීක්ෂණවලට මුහුණ දෙන්නයි තියෙන්නේ." යනුවෙන්ද සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය විසින් කැඳවා ඇති විනය කමිටුව හමුවේද හෙට (22) දිනයේ පෙනී සිටින බවයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ. 

එහිදී  "මෙතනට නම් ලයිස්තුව දුන්නා කියලා වැඩක් වෙන්නේ නෑ. දේශපාලනඥයින් ගැන කරන පරීක්ෂණයකදී දේශපාලනඥයින්ට නම් ලයිස්තුව දුන්නා කියලා වැඩක් නෑ. මේ පරීක්ෂණ කරන්න ඕනේ STF එකෙන් CID එකෙන් සහ ජනාධිපතිතුමා ඇතුළු ස්වාධීන මණ්ඩලයක් විසින්." යනුවෙන්ද සඳහන් කළා.

මතභේදාත්මක ප‍්‍රකාශයෙන් පසු තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස අදහස් පළ කළා. එහිදී "ඒ අයට කේන්ති ගිහිල්ලා තියෙන්නේ මොකද කියලා මටත් හිතා ගන්න බෑ.. මම ඒක ජනතාවට බාර කරනවා." 

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉකුත්දා කළ ප‍්‍රකාශය දැඩි කතාබහක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයට එක්සත් ජාතික පෙරමුණ ඊයේ (20) කමිටුවක් ද පත් කළා.