Friday, May 17, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ශ‍්‍රී ලංකාවට අහිමිවීමේ අවධානමක්

හේමන්ත කහවලගේ




දකුණු සුඩානයේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ‍්‍රී ලාංකික පොලිස් නිලධාරීන් 18 දෙනාගේ සේවා කාලය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජූනි මස 31වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ, මෙම වසරේ ජනවාරි මස 01වැනිදා සිටයි.

දකුණු සුඩානයේ සාම සාධක මෙහෙයුම්වලට සූදානමින් සිටින මීළග පොලිස් කණ්ඩායමේ මානව හිමිකම් වාර්තා මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කර තිබෙනවා. අදාළ මානව හිමිකම් වාර්තා නිකුත් කරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසන් සභාව විසින්. 

කෙසේවෙතත් අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය මෙම නිලධාරීන්ට දන්වා ඇත්තේ මාස 03ක කාලයක් සඳහා පමණක් මෙම නිලධාරීන් 18දෙනාට සේවා දිගුවක් ලබා දී ඇති බවයි.

මේ මස 18වැනිදා වනවිට සිය මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වී යළි මවුබිමට යාමට සූදානම් වන ලෙසයි එම ශ‍්‍රී ලාංකික පොලිස් නිලධාරීන් 18 දෙනා වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ මෙම සේවා දිගුව සම්බන්ධයෙන් යම් ගැටලූවක් ඇති බවත්, එය නිවැරදි කිරීමට අද දිනයේදී කටයුතු කරන බවයි. 

කෙසේවෙතත් මෙම පොලිස් නිලධාරීන් 18දෙනාට අමතරව කිසිඳු පොලිස් නිලධාරියෙකු එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනියුක්තව සේවය නොකරන බවයි වාර්තා වන්නේ. එසේම ජගත් සංවිධානයේ සාම සාධක හමුදාවන්ට අනියුක්තව ශ‍්‍රී ලාංකික පොලිස් නිලධාරීන් සේවය කර ඇත්තේ ටිමෝරය, සුඩාවය හා දාෆූර් වල පමණයි.එහෙත් මේ වනවිට ශ‍්‍රී ලාංකික පොලිස් නිලධාරීන් පිරිසක් සාම සාධක හමුදාවට අනුබද්ධව සේවය කරන්නේ දකුණු සුඩානයේ පමණයි. එබැවින්, අදාළ පොලිස් නිලධාරීන් 18දෙනා යළි මව්බිමට පැමිණිය හොත් ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කිසිඳු පොලිස් නිලධාරියෙක් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට අනියුක්තව සේවය නොකරනු ඇති. 

එසේම අදාළ පොලිස් නිලධාරීන් 18දෙනා යළිත් ගෙන්වා ගැනීමක් සිදු කළහොත් එම අවස්ථාව බංග්ලාදේශය, නේපාලය, වැනි රටවලට හිමි වනවා. එසේ වුවහොත් සාමසාධක මෙහෙයුම්වලින් ශ‍්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ද නොලැබී යනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.