Friday, May 17, 2024

General line - 0115112241

"එක් දිනකට විදුලි බල්බ දෙකක් නිවා දමන්න" - විදුලිබල ඇමතිගෙන් නිවේදනයක්




විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම මේ දිනවල දිනෙන් දිනෙම අඩුවෙමින් පවතිනවා. ඒ නිසා තාප බලාගාර යොදා ගනිමින් කටයුතු කරන බවයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වයන් හේතුවෙන් හදිසි විදුලිබලය මිලදී ගැනීමට හෝ විදුලි මිල වැඩි කිරීමට අවශ්‍යතාවක් නැති බවද විදුලිබල අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

තත්ත්වය තේරුම්ගෙන අරපරිස්සමෙන් විදුලිය භාවිතා කරන ලෙස ලක්ෂ 65 ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසන්නේ. 

"විදුලි පාරිභෝගික ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ.. එක් දිනකට විදුලි බල්බ දෙකක් නිවා දමලා, විදුලිය ඉතිරි කරන්න කියලා. මේ තුළින් දිනකට මෙගාවොට් 100 ක් පමණ ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා. අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න ඕන යුගයක් ඇවිත් තිබෙන්නේ. අපි කිසිසේත්ම විදුලි කප්පාදුවකට යන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය අපට ලබාදෙන්න" යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

"මේ දිනවල ඉතා අධික විදුලි ඉල්ලුමක් තිබෙනවා. මේ තත්ත්වය තවත් මාස 1 ½ ක් පමණ ඉදිරියට පවතී කියලා හිතනවා. බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට ලැබෙන වැස්සත් මේ කාලයේ ඉතා අඩුයි. නමුත් ජනතාවට අඛණ්ඩ විදුලි සේවයක් සපයන්න අපි අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. අපේ ලංවිම දක්ෂ ඉංජිනේරුවරුන් සහ අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලය එකතුවෙලා මේ තත්ත්වය සමබරව පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්නවා." යනුවෙන්ද සඳහන් කළා.