Friday, May 17, 2024

General line - 0115112241

මහින්දට එරෙහිව රනිල් ඇතුළු පාර්ශ්ව ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගනී

අධිකරණ වාර්තාකරු




මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට අග්‍රාමාත්‍ය ධූරය, කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙසට කටයුතු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පෙත්සම්කරුවන් විසින් අද (12)  ඉල්ලා අස්කර ගනු ලැබුවා.

මෙම රිට්  පෙත්සමෙන් ඇති සහනයන් මේ වන විට ලැබී ඇති බැවින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර වෙත දැනුම් දුන්නා.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය ඇමතිවරු එම ධූරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය දෙසැම්බර්  මස 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකු එම නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනු කළ අභියාචන පෙත්සම් ද ඉදිරියේ ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පෙත්සම ගොනු කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු විසින්.