Friday, May 17, 2024

General line - 0115112241

විදුලි කුළුනත් ශ්‍රී ලංකාවට හරස් වෙයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින තරගය ඩක්වත් සහ ලුයිස් න්‍යායට අනුව ලකුණු 41 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (16) සමත් විය. ඒ ලකුණු 226 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ඉනිම අතර මැද නතර කිරීමට සිදුවුයේ ක්‍රීඩා පිටියේ පිහිටි විදුලි කුළුණු 4න් එක් විදුලි කුළුණක් අක්‍රිය වීම හේතුවෙන්.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු ඕවර 49.3 කදී සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 225ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 56, ප්‍රියමාල් පෙරේරා සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 33 බැගින් ලබා ගත් අතර ඉසුරු උදාන ලකුණු 32ක් රැස් කර ගත්තා.

ලකුණු 226 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගය අතර මග නතර කරන විට කඩුලු දෙකක් දැවී පන්දු ඕවර 28 කදී ලකුණු 135ක් රැස් කර ගැනීමට සමත්විය. එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඒඩන් මාක්ක්‍රම් නොදැවී ලකුණු 67ක් රැස් කර ගැනීමට සමත් වුවා.

තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග කියා සිටියේ ලෝක කුසලානයට පෙර පැවති එක්දින තරගය පරාජයට පත්වීම කණගාටුවට කරුණක් බවයි. එමෙන්ම දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා කණ්ඩායම අවධානය යොමු කළ යුතු බවත් ඉසුරු උදාන සහ කුසල් මෙන්ඩිස් සිය දක්ෂතා දැක්වීම යහපත් ලකුණක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තරගාවලිය පුරා පිත්තෙන් දක්ෂතා දක්වමින් ලකුණු 353ක් රැස් කර ගත් දකුණු අප්‍රිකාවේ කුවින්ටන් ඩි කුක් තරගාවලියේ වීරයා ලෙස නම් කරනු ලැබුවා.