Friday, May 17, 2024

General line - 0115112241

"මට වැඩිය ලොකු වැරදි කරපු අය තාම ධූර දරනවා" - ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කෙරුණු අමිල නීති උපදෙස් පතයි

නිශාන් ද සිල්වා




ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් තමන් ඉවත් කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් නීති උපදෙස් පතන බව එම්. කේ. අමිල පවසනවා.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනා අනුව එම්. කේ. අමිල එම තනතුරුවලින් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත්තා.

මෙම තීරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්. කේ. අමිල නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ තමන්ට එරෙහිව ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් නීතිඥයින් සමග සාකච්ඡා කර ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.

එහිදී "මට වැඩිය ලොකු වැරදි කරපු අය තාම ධූර දරනවා. මගේ තියෙන්නේ රාජකාරියට බාධා කිරීම විතරයි. මේ වැරැද්ද බාර අරගෙන දැන් මාස 06කටත් වැඩියි. මාස 03ක සිරදඬුවම් විඳලා.. ඒ නඩුව ඉවර වෙලා..තවත් මාස 06කට විතර පස්සේ තමයි මේ තීන්දුව මට එන්නේ. " යනුවෙන් සඳහන් කළා.

පනාමුර දඬුහැතැක්ම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති එම්. කේ. අමිලට මීට පෙර මාස 03ක සිර දඬුවමක් ද නියම කෙරුණා.