Tuesday, May 14, 2024

General line - 0115112241

ඔබ කැටයට දාපු පොත් 'නෙත්' අපේක්‍ෂා රෝහලේ දරුවන් වෙනුවෙන් ප්‍රදානය කරයි




දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා පොත්පත් බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් අද (17) ක්‍රියාත්මක වුණා.

ඒ, මහරගම අපේක්‍ෂා රෝහල කේන්‍ද්‍ර කර ගනිමින්.

මෙලෙස පොත්පත් බෙදා දුන්නේ මහරගම අපේක්‍ෂා රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ළමා ඒකකයේ දරු දැරියන් වෙනුවෙන්.

මෙම සත්කාරය සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකළ ශිරාණි මල්කාන්ති අදහස් දක්වමින් සඳහන් කළේ "රෝහලේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අවශ්‍යතාව පරිදි ප්‍රමාණවත් පොත්පත් ලබා දෙන්නේ කොහොමද කියන අභියෝගට අපිට මුහුණ දෙන්න වුණා. ඒකට විසඳුමක් සොයා ගන්න බලාපොරොත්තුවෙන් නෙත් එෆ්. එම් රේඩියෝවට කතා කළා. මම දීපු පොඩි ලියුමකට නෙත් විශාල සහයෝගයක් දැක්වුවා. නෙත් එෆ්. එම් රේඩියෝව පොත් 300කට අධික ප්‍රමාණයක් දුන්නා. එම දරුවන්ගෙත් දරුවන්ගේ දෙමාපියන්ගෙත් මානසික සුවතාවය තියාගන්න තමයි මේ පුස්තකාලය පවත්වාගෙන යන්නේ. දරුවන්ගේ පිළිකා රෝගී තත්ත්වයන් නිසා මෙහි සිටින මව්වරුන් විශාල පීඩනයකින් ඉන්නේ. ඒකට පුංචි හෝ පිළියමක් සෙවීම තමයි අපේ අරමුණ වුණේ. නෙත් එෆ්. එම් රේඩියෝවට බොහෝම පිං." යනුවෙනි.  

අද මෙලෙස දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ මහරගම අපේක්‍ෂා රෝහලේ ළමා ඒකකයට පරිත්‍යාග කළේ පසුගිය වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි ස්ථාපිත කෙරුණු පොත් කැටයට නෙත් එෆ්. එම්. ශ්‍රාවක ඔබ පරිත්‍යාග කළ පොත්පත්.