Wednesday, May 22, 2024

General line - 0115112241

කරාපිටිය රෝහලට ගෙනා පිළිකා යන්ත්‍රය ගැන අනාවරණයක්




පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කෙරෙන රුපියල් කෝටි 35 ක් පමණ වටිනා ලීනියර් ඇක්සල රේටර් හෙවත් රේඛීය ත්වරණ යන්ත්‍රය ප්‍රයෝජනයට නොගෙන කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ගබඩා කර තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. වසර 4 ක සිට එම යන්ත්‍රය එහි ගබඩා කර ඇති බවයි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසුවේ. පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක අද (20) නිරත වූ අතර එහිදී ප්‍රයෝජනය නොගෙන ගබඩා කර ඇති මෙම අධික මිලක් සහිත වටිනා යන්ත්‍රය පිළිබද තොරතුරු අනාවරණ වුණා.

මෙම යන්ත්‍රය සවි කිරීම සදහා රුපියල් කෝටි 15 ක පමණ මුදලක් වැය කර අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්ද ඉදිකර ඇති අතර ඊට තවමත් විදුලි සැපයුම ලබා නොදීම හේතුවෙන් මෙම යන්ත්‍රය සවි කිරීමට නොහැකි වී ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේ. මෙම යන්ත්‍රය කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත ලැබී ඇත්තේ 2014 වර්ෂයේදීයි. මේ පිළිබද කරුණු අනාවරණවීමත් සමග එම ගොඩනැගිල්ලට විදුලි සැපයුම ලබාදී පිළිකා රෝගීන් සදහා එම යන්ත්‍රය ලබාදීමට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්ගේ අවධානය යොමු වුණා. එහිදී විදුලිබල මණ්ඩලයේ දිසා ඉංජිනේරුවරයා සදහන් කර ඇත්තේ කරාපිටිය රෝහල විසින් ගෙවිය යුතු හිග විදුලි බිලක් හේතුවෙන් එම ගොඩනැගිල්ලට විදුලි සැපයුම ලබාදිය නොහැකි බවයි. 

පසුව පළාත් ආණ්ඩුකාරවරයා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ අමතමින් ඉල්ලා සිටියේ වහාම එම ගොඩනැගිල්ලට විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන ලෙසයි. මෙය හදිසි හා අත්‍යවශ්‍ය කටයුත්තක් බැවින් වහා ට්‍රාන්ස්ෆෝමරයක් සවි කොට එම ස්ථානයට විදුලිය ලබාදෙන ලෙස සහ අදාළ මුදල් ගෙවීම අමාත්‍යාංශ මට්ටමින් සම්බන්ධීරණය කරන ලෙසද මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදුන්නා.

වසර 4 ක් මෙම යන්ත්‍රය ප්‍රයෝජනයට නොගෙන ගබඩා කර තැබීම ඛේදවාචකයක් බවත් රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාව මෙමගින් පිළිඹිබු වන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මෙහිදී සදහන් කළා. මෙරට ජනතාව පිළිකා රෝගීන් සදහා යන්ත්‍රයක් මිළට ගැනීමට මුදල් එක්රැස් කරන පසුබිමක මෙවැනි යන්ත්‍රයක් වසර 4 ක් තිස්සේ ප්‍රයෝජනයට නොගැනීම පිළිබද කණගාටු වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.