Tuesday, May 21, 2024

General line - 0115112241

පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශන CID යට

දිනුක් හේවාවිතාරණ




කොළඹ, කටුවාපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පොලිස්පති පුජිත ජයසුන්දර නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටිනවා. මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ පිපිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා. 

මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අද (21) කොළඹ ප්‍රදේශයේ සිදුවූ පිපිරීම් වලින් පසුව විමර්ශනයක් ආරම්භ කරනු ලැබූ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ලද තොරතුරක් මත දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේ පිහිටි මහවිල පටුමග ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමට නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කළ බවයි.

එම නිලධාරීන් කණ්ඩායම අදාළ සැකකටයුතු නිවස පරික්ෂා කිරීමට යාමේදී එකවර එම නිවස තුල පිපිරීමක් සිදුව ඇති බවත් එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

දැනට බලපවත්වා තිබෙන පොලිස් ඇඳිරි නිතිය හේතුවෙන් අත්‍යවශය රාජකාරී සඳහා පිටත්ව යන පුද්ගලයින්ට තමන්ගේ රාජකාරී නිළ හැඳුනුම්පත භාවිත කොට අවශ්‍ය ගමන් යාමට අවශ්‍ය අවසර ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ඇතිව ඇති තත්ත්වය හමුවේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.