Wednesday, May 15, 2024

General line - 0115112241

ජනපති විදේශ තානාපතිවරු හමුවේ




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පෙරවරුවේ විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක ප්‍රධානීන් ද මුණගැසුනා. ත්‍රස්තවාදය මර්දනය කිරීමට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවයි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඇතුළු විදේශීය නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ස්ථාන 08ක සිදු වූ පිපිරවීම් සම්බන්ධයෙන් සිදු වන විමර්ශන පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා. මෙම විමර්ශන සඳහා සහය වීමට රටවල් 08ක් ද දැනටමත් කැමැත්ත පළ කර තිබෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. 

අදාළ ත්‍රස්ත ප්‍රහාරය රජය කිසිසේත් අපේක්ෂා නොකළ එකක් බවද කෙසේවෙතත් ඉදිරියේදී ඇති විය හැකි මෙවැනි තත්වයන්ට මුහුණදීමට ආරක්ෂක අංශ ශක්තිමත් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසුවා. එමෙන්ම ආරක්ෂක අංශවල ප්‍රතිශෝධනයක් සිදු කිරීමට ද අදහස් කරන බවයි ජනාධිපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ. 

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පනවනු ලැබුවත් කිසිවිටෙකත් සිවිල් වැසියන්ට එරෙහිව එම බලය භාවිත නොකරන බවට ජනාධිපතිවරයා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඇතුළු විදේශ නියෝජිතයින්ට සහතිකයක් ද ලබාදුන්නා. සමාජ මාධ්‍යය සඳහා පනවා ඇති අවහිරය ද නුදුරේදීම ඉවත් කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.