Wednesday, May 15, 2024

General line - 0115112241

බුද්ධි අංශ දුර්වල කිරීමේ වගකීම රජය භාර ගත යුතු බවට ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

හේමන්ත කහවලගේ




ජාතික තවුහීද් ජමාද් සංවිධානය තහනම් කිරීම සඳහා කඩිනමින් කෙටුම්පත් සකස් කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ. 

දැනට තිබෙන නීති ජාතික තවුහීද් ජමාද් සංවිධානය තහනම් කිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. නව කෙටුම්පත සැකසෙන්නේ ද ඒ අනුව බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ සඳහා ආදර්ශ ලබා ගැනීමට ඔස්ටේ‍්‍රලියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඊට සමාන පනත් ගෙන්වා ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා පැවසුවා. අද පස්වරුවේ රැස්වන ආරක්ෂක මණ්ඩලයේදීද මේ පිළිබඳ සාකච්ඡා කෙරෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. නීතිපතිවරයා ද මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත බව ජනාධිපතිවරයා පැවසුවා. 

ඉකුත් පාස්කු ඉරිදා දින සිදුවූ පිපිරවීම් සම්බන්ධයෙන් වගකීමෙන් නිදහස් වීමට තමන් උත්සහ නොකරන බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. රජය එහි වගකීම භාර ගත යුතු බව ජනාධිපතිවරයා පැවසුවා. එමෙන්ම බුද්ධි අංශ දුර්වල කිරීම පිළිබඳ වගකීම ද රජය භාර ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. බුද්ධි අංශවල කඩිනමින් වෙනසක් කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා. 

අදාළ පිපිරවීම් සම්බන්ධයෙන් විමර්ශනවලට සහය වීමට විදේශීය විශේෂඥ කණ්ඩායම් ද පැමිණ සිටින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඔවුන් පැමිණ ඇත්තේ අයි එස් විරෝධී රටවලින් බවයි ජනාධිපතිවරයා පැවසුවේ. අයිඑස් සංවිධානයේ හැසිරීම් පිළිබඳ ඔවුන් ශ‍්‍රී ලංකාවේ හමුදාවන්ට පුහුණුවක් ලබා දෙන බවද ජනාධිපතිවරයා පැවසුවා. 

ඉස්ලාමීය භක්තිකයින් සියලූ දෙනා ත‍්‍රස්තවාදීන් නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ අනුව සියලූ ඉස්ලාමීය භාක්තිකයින් දෙස ත‍්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයි මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.