Wednesday, May 15, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරය සිදුකරන පුද්ගලයින් සෙවීමට විශේෂ ඒකකයක්

මහේෂ් චතුරංග




ජාතින් අතර අසමගිය වෛරය ඇතිකරවන සහ මහජනතාව බියට පත්වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පොලිස් මුලස්ථානයේදී අද (13) පිහිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයින් කවුරුන්ද යන්න ගැන සොයා බැලීම මෙම විමර්ශන ඒකකය මගින් සිදුකරනු ලබන අතර ඉදිරි පියවර ගැනීම සදහා අදාළ ඒකක වෙත අවශ්‍ය තොරතුරු ලබාදීම මෙමගින් සිදු කිරීමට නියමිත බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේ.

එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රචාර නිර්මාණය කර සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරිම සහ එවැනි ප්‍රචාර අනෙක් පුද්ගලයින්ට යැවීම වරදක් වනවා. එලෙස කටයුතු සිදුකරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැනට පවතින හදිසි අවස්ථා රේගුලාසි යටතේ නිතිය ක්‍රියාත්මක කිරීම මගින් වසර 3 සිට වසර 7 දක්වාද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වසර 10 දක්වා සිර දඬුවම් නියම වන බවයි පොලිසිය සදහන් කර සිටියේ.