Monday, May 13, 2024

General line - 0115112241

පොලිසියේ ඉවසීම දුර්වලකමක් යැයි නොසිතන්න : වැඩබලන පොලිස්පති අවධාරණය කරයි

දිනුක් හේවාවිතාරණ




ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසියේ දුර්වල කමක් සේ නොසිතන ලෙසත් එය අන්තවාදී කණ්ඩායම් වලට සිදුව ඇති විශාල වරදක් බවත්, නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන අතරම රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න අවධාරණය කර සිටියි.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන්  කළේ  රටේ උද්ගත වී ඇති නොසන්සුන් තත්ත්වය හමුවේ මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින්ය.

" බීමත්ව සිටි සුළු පිරිසක් කුලියාපිටිය හෙට්ටිපොළ ප‍්‍රදේශයේ  වෙළෙඳ සැල් කිහිපයකට පහර දී තිබූ බවත් එය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූවා. එවැනි කි‍්‍රයා නතර වේවි යැයි සිතා සිටියද කුලියාපිටිය ප‍්‍රදේශයේ එවැනි කි‍්‍රයා කිහිපයක් වාර්තා වූ බවත් මේ තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු  දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වූවා. මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කළ අතර ඉතා සුළු අන්තවාදීන් පිරිසක් මේ ආකාරයෙන් හැසිරෙන බවට තොරතුරු හෙළිව තිබෙනවා.

වසර 30 පුරා පැවති ලෝකයේ  දරුණුම ත‍්‍රස්වාදය විනාශ කිරීමට විශාල කාර්ය බාරයක් පොලිසිය විසින් සිදුකලා. එවැනි පොලිසියකට මේ සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත‍්‍රයක් පමණක් බවයි" මෙහිදී වැඩබලන පොලිස්පතිවරයා සදහන් කර සිටියේ.

" 2019 අපේ‍්‍රල් 21 දින ප‍්‍රහාරයෙන් පසුව මේ දක්වා සිදුකරන විමර්ශන සඳහා සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බහුතරයක් ජනතාව සහය වුයේ ජාති ආගම් භේද වලින් තොරවයි. ඒ සඳහා අංශූ මාත‍්‍රයකින් හෝ සහය නොදැක් වූ ඉතා සුළු අන්තවාදීන් පිරිසක් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටිනවා. ඔවුන් විසින් සිදුකරනු ලබන එම ක්‍රියාව වහාම නතර කල යුතුයි.

මෙලෙස අන්තවාදී ලෙස කටයුතු  කරන පුද්ගලයන්ගේ  ඥාතීන්ට හා හිතවතුන්ට මේ අවස්ථාවේ කියා සිටින්නේ තමන්ගේ ඥාතියාට හෝ හිතවතාට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන්න. එසේ නොවුන හොත් නීතිමය බලය යනු කුමක් ද යන්න මේ සුළු පිරිසට පෙන්වීමට ශි‍්‍ර ලංකා පොලිසියට සිදුවනවා. මෙවැනි සිද්ධී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප හිමි වන්නේ නැහැ. ඔවුන්ට වසර 10  ක කාලයක් සිරදඩුවම් විදීමට සිදුවනවා ".

එම නිසා මෙම සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නතර කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් තමන් ඉල්ලා සිටින බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.