Sunday, May 12, 2024

General line - 0115112241

කඩාකප්පල්කාරී ක්‍රියා නවත්වන්න ගුවනිනුත් මෙහෙයුම්

තරංග රුක්ෂාන්/නිශාන් ද සිල්වා




නොසන්සුන්තා ඇති වූ ප‍්‍රදේශවල ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. කුරුණෑගල සහ කුලියාපිටිය යන ප‍්‍රදේශවල ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද අනුයුක්ත කර තිබෙනවා. එම කණ්ඩායම්වලට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුත්, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකුත් අයත්.

මෙලෙස විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත්තේ තවදුරටත් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා සිදුවීම වැළැක්වීමේ අරමුණින් සහ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ අරමුණින්. මෙම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත්තේ අදාළ ප‍්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට අමතරවයි. 

මේ අතර කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා දිවා රාත‍්‍රී යෙදවීමට ද පියවර ගෙන ඇති බව ගුවන් හමුදාව පවසනවා. ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීම මෙහි අරමුණ බවයි. 

විවිධ ප‍්‍රදේශවල කළහකාරී ලෙස හැසිරෙණ පුද්ගලයින්ගේ ඡායාරූප ගුවනින් ගොස් ලබා ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ කොළඹ සිට විශේෂ කණ්ඩායමක් ද ක‍්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. 

දිවයින පුරා පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (15) අලූයම 04.00ට අවසන් කෙරුණා. ගම්පහ පොලිස් කොට්ඨාශයට බලපැවැත්වෙන පරිදි පෙරවරු 06.00 දක්වා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ද ඉවත් කළ බව පොලිසිය සඳහන් කළා. වයඹ පළාතට බලපැවැත්වෙන පරිදි ද ඊයේ (14) පස්වරු 06.00 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ අතර එයද අද පෙරවරු 06.00ට අවසන් කෙරුණා.