Tuesday, May 14, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆි ගැන විමර්ශනයේ අතුරු වාර්තාවෙන් නිර්දේශ 04ක්




ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කෙරුණු සය පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවක් එහි සාමාජිකයින් අද (03) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා වෙත භර දුන්නා. සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවන් වන්ද්‍යකරණයට ලක්කළේ යැයි චෝදනාවට ලක්ව සිටින්නේ මෙම වෛද්‍යවරයායි. චෝදනා පිළිබඳ මූලික විමර්ශනවලින් පසු අතුරු වාර්තාව සකස් කර ඇති අතර මූලික නිර්දේශ 04ක් ඊට ඇතුළත්. 

විමර්ශනයට අදාළ සිදුවීම් දීර්ඝ කාලසීමාවක් තුළ පැතිර ඇති බැවින් හා ලැබී ඇති පැමිණිලි, සංඛ්‍යාත්මකව ඉතා ඉහළ බැවින් විමර්ශන කමිටුවේ සංයුතිය හා සාමාජික සංඛ්‍යාව පුළුල් කිරීම එහි පළමු නිර්දේශය වනවා. අදාළ කාලසීමාව තුළ කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කමකට බඳුන් වී ද්වීතිය මදසරුභාවයට පත්ව ඇති කාන්තාවන්ගේ සියලු පැමිණිලි විමර්ශනය කිරීම දෙවන නිර්දේශයයි. 

මෙම විමර්ශනය හා ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාම පිණිස අත්‍යවශ්‍ය පරිපාලනමය සහයෝගය කමිටුව වෙත ලබාදෙන ලෙස කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම එහි තුන්වන නිර්දේශය වනවා. 

අදාළ කාල සීමාව තුළ කුරුණෑගල රෝහලේ දී සිසේරියන් සැත්කම්වලට බඳුන් වූ පසු මදසරුභාවයට පත් සියලු මව්වරුන්ගේ හා ඒ ඒ සැත්කම සඳහා සහභාගී වූ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සියලුම තොරතුරු කමිටුව වෙත ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්‍ෂවරයාට දැනුම් දීම අනෙක් නිර්දේශයයි. 
මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මෙහොමඞ් සාෆි සම්බන්ධයෙන් අද දිනයේ ද පැමිණිලි 60කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. 

කුරුණෑගල රෝහලට පමණක් මව්වරුන් 50කට වැඩි පිරිසක් පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. තවත් මව්වරුන් 10 දෙනෙකුට වැඩි පිරිසක් දඹුල්ල රෝහලට පැමිණ තිබෙනවා.