Sunday, May 12, 2024

General line - 0115112241

කෝලි සහ විලියම්සන් අතීතය මතක් කරමින් යළිත් හමු වෙයි

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මැන්චෙස්ටර්හිදී අද (09) පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගනිමින්. නවසීලන්ත කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. 

නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ 08වන අවස්ථාව මෙය වනවා. ඔවුන් අවසන් පූර්ව තරග ජය ගනිමින් අවසන් මහා තරගයට පිවිස ඇත්තේ ඉන් එක් අවස්ථාවකදී පමණක් වීම විශේෂත්වයක්. 

ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ 07වන අවස්ථාව මෙය වනවා. ඉන් අවස්ථා 3කදී අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

අද පැවැත්වෙන තරගයේදී ඉන්දීය කණ්ඩායමට විරාත් කෝලි නායකත්වය ලබාදෙන අතර කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනවා. 2008 වසරේ මැලේසියාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී තරග වැදුණේද ඉන්දියාව සහ නවසීලන්තයයි. විශේෂත්වය වන්නේ එම තරගයේදී ඉන්දීය යොවුන් පිලට  නායකත්වය දුන් විරාත් කෝලි සහ නවසීලන්ත යොවුන් පිලට නායකත්වය දුන් කේන් විලියම්සන්, යළිත් මෙවර අවසන් පූර්ව තරගයේදී එකිනෙකා මුණ ගැසීමයි.

2008 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දෙරට අතර පැවති අවසන් පූර්ව තරගයෙන් කඩුලූ 03ක ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම එම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තා.