Tuesday, May 7, 2024

General line - 0115112241

වර්ෂාව හේතුවෙන් ඉන්දීය - නවසීලන්ත තරගය ගැන තීරණයක් ගනියි

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්ත අතර තරගයට තවදුරටත් වර්ෂාවෙන් බාධා එල්ල වෙමින් තිබෙනවා. ඒ අනුව තවත් පැය 3ක් තුළ තරගය ආරම්භ කිරීමට නොහැකි වුවහොත් තරගය අතහැර දමනු ඇති. එසේ වුවහොත් වෙනත් දිනක තරගය යළි නව තරගයක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට නවසීලන්තය පන්දුවාර 46යි එක් පන්දුවක් තුළ කඩුලු 5කට ලකුණු 211ක් රැස්කරගෙන සිටියා. යළි තරගය ආරම්භ වුවහොත් බොහෝදුරට නවසීලන්ත ඉනිම අවසන් කර ඉන්දියාවට පන්දුවට පහර දීමට අවස්ථාව ලබාදෙනු ඇති.

එසේ වුවහොත් පන්දුවාර 46ක් තුළ ලකුණු 237 ඉලක්කයක් හෝ පන්දුවාර 20ක් තුළ ලකුණු 148ක ඉලක්කයක් හෝ ඉන්දියාවට හිමි වීමට නියමිතයි.

..................................................

ලොවක් බලා සිටින ඉන්දීය - නවසීලන්ත තරගයටත් වර්ෂාවෙන් බාධා

(09-07-2019 19:15)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත නායකයා පළමු තීරණය කළේ පන්දුවට පහර දීමටයි.

කෙසේ වෙතත් නවසීලන්ත පිතිකරුවන්ට ආරම්භයේ සිට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ප්‍රබල තර්ජනයක් එල්ල වුණා. ඒ හේතුවෙන් නවසීලන්තයට පළමු ලකුණු 50 රැස් කිරීමට පන්දු 84ක් ද, ලකුණු 100ක් රැස් කිරීමට පන්දු 169ක් ද, ලකුණු 150 රැස් කිරීමට පන්දු 234ක් ද වැය කිරීමට සිදු වුණා. මෙවර තරගාවලියේදී කිසියම් කණ්ඩායමකට පළමු ලකුණු 100 වාර්තා කිරීමට වැය වූ තුන්වන වැඩිම පන්දු සංඛ්‍යාවද මෙයයි.

කෙසේ වෙතත් තරගයේ 47 වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ වනවිට නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 211ක් රැස්කර ගෙන සිටියා. කේන් විලියම්සන් පන්දු 95කදී ලකුණු 67ක් රැස්කළ අතර රොස් ටේලර් පන්දු 85කදී නොදැවී ලකුණු 67ක් රැස් කරගෙන සිටියා. 

යම් හෙයකින් වර්ෂාව හේතුවෙන් අද තරගය අත්හැර දැමීමට සිදුවුවහොත් යළි වෙනත් දිනක තරගය අලුත් තරගයක් ලෙස පවත්වනු ඇති. මෙවර තරගාවලියේදී මීට පෙර තරග 4ක් වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වුණා. 

 

.......................................................

ලොවක් බලා සිටින ඉන්දු - නවසීලන්ත අවසන් පූර්ව තරගයට සියල්ල සූදානම්

(09-07-2019 15:09)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දැන් පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර්හි ඕල්ඞ්ට්‍රැෆඞ් ක්‍රීඩාංගණයේයි. තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කණ්ඩායම් දෙකම අද තරගයට එක්වන්නේ එක් වෙනස්කමක් සහිතවයි.

ඒ අනුව ටිම් සවුති වෙනුවට ලුකි ෆර්ගිවුසන් නවසීලන්ත කණ්ඩායම කැදවා ඇති අතර කුල්දීප් යාදේව් වෙනුවට යශ්වේන්ද්‍ර චාහල් කැදවීමටයි ඉන්දියාව තීරණය කර ඇත්තේ. මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමු වරටයි. මූලික වටයේ පැවැත්වීමට තිබූ තරගය වර්ෂාවෙන් හේතුවෙන් අත්හැර දැමීම ඊට හේතුවයි.