Friday, May 17, 2024

General line - 0115112241

ආපදා මරණ 7ක් දක්වා ඉහළට




අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ විවිධ ආපදා පිළිබඳ දිවයිනේ ප්‍රදේශ රැසකින් අද (19) දිනයේද තොරතුරු වාර්තා වුණා. ඉන් අවාසනාවන්තම සිද්ධිය වාර්තා වූයේ සූරියවැව ප්‍රදේශයේදීයි. එහිදී, සූරියවැව කාර්යාල මාවතේ නවතා තිබූ ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මවක්, ඇගේ දියණිය සහ තවත් දැරියක ජීවිතක්ෂයට පත්වුණා. මව 31 හැවිරිදි වියේ පසුවූ අතර දියණියන් දෙදෙනා 03 වන සහ 09 වන වියේ පසුවූ බවයි පොලීසිය පැවසුවේ. පොලීසිය පැවසුවේ ප්‍රදේශය හරහා හමාගිය තද සුළඟක් සමග මෙලෙස ත්‍රී රෝද රථය මතට ගස කඩා වැටී ඇති බවයි.

මේ දක්වා දිවයිනේ සිදුවූ විවිධ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේවනවිට විවිධ ආපදා හේතුවෙන් දිස්ත්‍රික්ක 08 ක පවුල් 1187 ක පුද්ගලයින් 4,738 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආරක්ෂිත ස්ථාන 07 රදවා සිටින සංඛ්‍යාව 341ක්. නිවාස 08 කට පූර්ණ හානි ද, නිවාස 703කට අර්ධ හානි ද සිදුව තිබෙනවා. 

තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකින් ගස් කඩා වැටීමේ සිද්ධීන් වාර්තා වුණා. ඉන් බහුතරයක් වාර්තා වුණේ මධ්‍යම කඳුකරයෙන්. නෙත් නිවුස් වාර්තාකැ සඳහන් කළේ අධික වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ දියඇළි රැසක් සක්‍රීය වී ඇති බවයි. ජලාශ රැසක ද වාන් දොරටු තවමත් විවෘත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

කෙසේවෙතත්, ගංගාවල ජල මට්ටම මේවනවිට සාමාන්‍ය තත්ත්වයේ පවතින බව නෙත් නිවුස් කළ විමසීමකදී වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ අද පස්වරුවේ තහවුරු කළා. 

මේ අතර ආපදා තත්ත්වයන් පිළිබඳ 011 2 45 45 76 සහ 011 2 58 72 29 යන අංකවලට දැනුම් දිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.