Saturday, May 11, 2024

General line - 0115112241

නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගන්න කැඳවූ වරෙන්තු ආපසු කැඳවයි

අධිකරණ වාර්තාකරු




ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු කොළඹ මහාධිකරණය විසින් අද (07) අත්හිටුවනු ලැබුවා.

අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබුණා.

නිශ්ශංක සේනාධිපති මේ වනවිට සිංගපූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන බවත් මේ වනවිට ඔහු සැත්කමට භාජනය කර ඇති බවත් විත්ති පාර්ශ්වයේ නීතිඥවරු අද අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම නිශ්ශංක සේනාධිපති තවත් සැත්කම් දෙකකට භාජනය කිරීමට නියමිත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව විත්තිකරුගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ නිර්දේශ එරට ශ‍්‍රීලංකා තානාපති කාර්යාලය හරහා සහතික කර මීළඟ දින ඉදිරිපත් කරන ලෙසටයි කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් නියෝග කළේ.

විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවතින වෙනත් නඩුවක් සඳහා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති නිසා ඔහු සැප්තැම්බර් මස 4 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද කොළඹ මහාධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළා.

ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් අගෝස්තු මස 2වැනි දා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට මෙහිදී නියෝග කෙරුණා.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ මහාධිකරනයේ නඩු පවරා තිබෙනවා. අධි චෝදනා 47 කින් සමන්විත චෝදනා පත‍්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර භාර දෙනු ලැබුවා .