Sunday, May 12, 2024

General line - 0115112241

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්ණ වලට ඇමතිවරුන්ගෙන් උත්තර නැතිලු

සජිත් තිලකරත්න/ඩිල්ෂාන් මඩවල




මන්තී‍්‍රවරුන් විසින් විමසන ලද ප‍්‍රශ්නවලට අමාත්‍යවරුන් පිළිතුරු ලබා දීම පමා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සංවාදයක් ඇතිවුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ මාස 03 කට පෙර විමසන ලද ඇතැම් කරුණුවලට පවා ඇතැම් අමාත්‍යවරුන් තවමත් පිළිතුරු ලබා දී නොමැති බවයි.

ආණ්ඩුව වෙනුවෙන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊට ප‍්‍රතිචාර දැක්වූවා.
 

පිළිතුරු ලබා දීම පමා කරන අමාත්‍යවරුන්ගේ නම් පාර්ලිමේන්තුවට හෙළි කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතාගෙන් ද අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා මෙහිදී ඉල්ලීමක් කළා.

මන්තී‍්‍රවරයා මෙම ඉල්ලීම කළේ අදාළ අමාත්‍යවරුන්ගේ නම් හෙළි කිරීම සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. 
 

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා යැයි ගුවන් සමාගම්වලට ලබා දි ඇති සහන සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා අද තවත් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළා.ඒ, මෙම සහන වලින් වරප‍්‍රසාද ලැබෙන්නේ සමාගම් හිමියන්ට මිස මගීන්ට නොවන බව පෙන්වා දෙමින්. 

මීට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ අදාළ ප‍්‍රශ්නවලට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න හෙට සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙනු ඇති බවයි. කෙසේවෙතත්, අදාළ සහන ලබා දීමට ආණ්ඩුව තීරණය කළේ සංචාරක ව්‍යාපාරය යළි ශක්තිමත් කිරීමට බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.