Monday, May 20, 2024

General line - 0115112241

හූනන් 06කට ජාතික වීරයන්ගේ නම් තැබූ හේතුව හෙළිකරයි

තරංග රුක්ෂාන්/නිශාන් ද සිල්වා




අලුතින් සොයා ගැණුනු හූනන් විශේෂ 06කට ජාතික වීරයින්ගේ නම් ලබා දී ඇත්තේ එම වීරවරයින්ට ගෞරව කිරීමේ අරමුණින් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම හූනන් විශේෂ සොයා ගැනීමේ පරීක්ෂණය සඳහා තම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇති බවයි.

ජාත්‍යන්තර නාම කරන ප්‍රමිතීන්ට අනුව අලුතින් සොයා ගැණුනු හූනන් විශේෂ 06 ටද නම් තබන්නට ඇති බවයි ඔහු සඳහන් කළේ. එහෙත් එලෙස නම් තැබීමට වනජීවී දෙපාර්තමේන්තුවේ සම්බන්ධයක් නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

කෙසේවෙතත් මේ අයුරින් අලුතින් සතුන් සොයා ගැනීම රටක් ලෙස ගත් කළ වැදගත් කරුණක් බවත්, මෙම හූනන් ශ්‍රී ලංකාවට ආවේණික සතුන් බවත් ඔහු අවධාරණය කළා. 

මෙම හූනන් විශේෂ 06 සඳහා ගෝටයිම්බර, නන්දිමිත්‍ර, කොහුකුඹුරේ රටේ රාළ, කිවුලේගෙදර, බූටෑවේ රටේ රාළ සහ හිටි හාමි යන නම් ලබා දී තිබුණා.

අලුතින් සොයා ගැණුනු හූනන් විශේෂ 06කට මෙලෙස ජාතික වීරවරයින්ගේ නම් තැබීම සම්බන්ධයෙන් මේවනවිට දැඩි කතාබහක් මතු වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ අදහස් පලවුණා. ඇතැම් පාර්ශ්ව චෝදනා කර තිබුනේ හූනන් සඳහා ජාතික වීරවරයින්ගේ නම් දීම ඔවුන් අවඥාවට ලක් කිරීමක් බවයි.

ඒ අනුවයි ජාතික වීරවරයින්ගේ නම් මෙලෙස හූනන් විශේෂ සඳහා ලබා දීම පිළිබඳ නෙත් නිවුස් වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ. මෙලෙස වැදගත් පුද්ගලයින්ගේ නමින් සත්ත්ව විශේෂ නම් කිරිමෙන් ඔවුන් පහත් කොට සැලකීමක් සිදු නොවන බවත් එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළා. ඔහු කියා සිටියේ ජාත්‍යන්තර නාමකරණයට අනුව මෙම අලුත් හූනන් විශේෂ 06ට නම් තබා ඇතිනම් ඒවා වනජීවී දෙපාර්තමේන්තුව ද පිළිගන්නා බවයි.

ශ්‍රී ලංකාවට අවේනික නව හූනන් විශේෂ 06 සොයා ගෙන ඇත්තේ පරිසරවේදී සමීර සුරංජන් කරුණාරත්න ඇතුළු පරීක්ෂණ කණ්ඩායමක්. ඒ අනුව ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පරිසරවේදී සමීර සුරංජන් කරුණාරත්නගෙන් විමසීමක් කලා. 

එහිදී ඔහු කියා සිටියේ "ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් වුණා.  මට අවශ්‍යතාව තිබ්බේ ඒ වීරවරයන් සදා අමරණීය කරමින් ඔවුන්ට ගෞරවයක් දක්වන්න. විද්‍යාවෙනුත් ඒ නම ඉදිරියට ගෙනියන්නයි ඕන වුණේ. ඒ නිසා තමයි මේ නම් තැබුවේ. වෙන රටක සතෙක්ව කාගෙ හරි නමකින් නම් කරනවා නම් ඒක නයිට් නායමක් හා සමාන වටිනාකමක් ගෞරවයක් ඒ පුද්ගලයාට හිමි වෙනවා. මේ නම් තැබීම හරහාම සමහර අය අපේ ජාතික වීරයන් කියලා මෙහෙම අය හිටියා කියලා අවබෝධ කරගන්නත් ඇති" යනුවෙනි.

මීට පෙරද වැදගත් පුද්ගලයින්ගේ නමින් අලුත් සත්ත්ව විශේෂ නම් කර ඇති බව මෙහිදී පැහැදිලි කෙරුණා.

පරිසරවේදී සමීර සුරංජන් කරුණාරත්න කියා සිටියේ වනජීවි දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් යටතේ මෙම පරීක්ෂණය සිදු කල බවයි. 

මෙම හූනන් විශේෂ 06 අලුතින් සොයා ගැණුනේ දෙස් විදෙස් විද්වතුන් ඇතුළු කණ්ඩායමක් 2018 වසරේ සිට සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල මතයි.