Monday, May 20, 2024

General line - 0115112241

ජාතික සංහිඳියාවට ශ්‍රි ලංකාවේ කැපවීම පසුබෑමට ලක් කරන බව යුරෝපා සංගමය නිවේදනය කරයි




නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් දක්වා ඇත්තේ බරපතල මානව හිමිකම් සහ මානවවාදී නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවලට ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලක්වී සිටින බවයි.

ඔහුගේ පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ යොමු කර ඇති දැඩි අවධානය කෙරෙහි සිය සංගමයේ පූර්ණ සහය හිමිවන බව ද, යුරෝපා සංගමය පවසනවා. 

නව පත්කිරීම මගින් සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳ ගැටලුවක් ද මතු වී තිබෙනවා. එමගින් ජාතික සංහිඳියාව කෙරෙහි ශ්‍රි ලංකාව දක්වන කැපවීම පසුබෑමට ලක් කරන බවයි යුරෝපා සංගමය පවසන්නේ. ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්ත තානාපති කාර්යාල සහ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය මෙන්ම නොර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මතයි යුරෝපා සංගමය අදාළ නිවේදනය නිකුත් කර තිබුණේ. 

කෙසේවෙතත්, යුද හමුදාපති ධූරයට ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට එරෙහි විරෝධතාවලට අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රතිචාර දැක්වමින් සඳහන් කළේ ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිස මේ රටට කළ සේවය පරම්පරා ගණනාවක් යනතෙක් අමතක නොකරනු ඇති බවයි. 

විදේශ කටයුතු අමාත්‍යංශය ද පැවසුවේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවයි. විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන බව ද, එහිදී අවධාරණය කෙරුණා.