Monday, May 20, 2024

General line - 0115112241

පොලිසියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය අත්අඩංගුවට

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන්




වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී දුලක්ෂී චමෝදරී ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කෙරුණු වරෙන්තුවක් මතයි.

21 හැවිරිදි මෙම මන්ත්‍රිවරිය ඉකුත් සමයේ දිගින් දිගටම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණා.

වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් වාහන පරීක්ෂාවක් සිදු කරන අතරතුර අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය පැදවූ කාන්තාවට රියදුරු බලපත්‍රයක් හෝ වෙනත් කිසිදු නිල ලේඛනයක් නොතිබූ බවයි පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ. එම යතුරු පැදිය පදවා ඇත්තේ අදාළ මන්ත්‍රීවරියගේ නැගණියයි.

පසුව ඇය දුරකථනයෙන් අමතා මන්ත්‍රීවරිය, ඇගේ පියා සහ තවත් සහෝදරියක් එම ස්ථානයට කැඳවාගෙන තිබෙනවා. 

ඒ අවස්ථාවේ ඔවුන් දිගින් දිගටම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, පොලිස් භාරයේ සිටි සැකකාරිය සහ යතුරුපැදිය රැගෙන යාමට උත්සහ කළ බව පොලීසිය පවසනවා. 

එම සිද්ධිය ඒ අසල සිටි තවත් පොලිස් නිලධාරීයෙකු විඩියෝ ගතකර තිබුණා. පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත්වරයාට පොලිසිය කරුණු වාර්තා කර එම විඩියෝ පටය ද පෙන්වා තිබෙනවා. 

ඒ අනුවයි සැකකරුවන්ට එරෙහිව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ. එම වරෙන්තුවට අදාළව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී දුලක්ෂී චමෝදරී ප්‍රනාන්දු, සහ යතුරු පැදිය පැදවූ 16 හැවිරිදි ඇගේ නැගණියද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට අද (21) ඉදිරිපත් කිරීමට නියමිතයි.

වරෙන්තු නිකුත් වී ඇති අනෙක් සැකකාරිය සහ මන්ත්‍රීවරියගේ පියා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය පැවසුවේ.