Monday, May 20, 2024

General line - 0115112241

"මේ වගේ අය තමයි රටට අවශ්‍ය - එහෙම නැතුව රටින් පැනලා යන අය නෙමෙයි" - නව සොයා ගැනීම ගැන ජනතාව දැනුවත් කරයි

සමන්ත කුමාර




ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් සොයා ගත් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි නව ග්‍රහ මණ්ඩලයේ ජලය පැවතිය හැකි බවට විශ්වාසය පළවී තිබෙනවා.

ඒ, අදාළ ග්‍රහ මණ්ඩලය පිළිබඳ මේ වනවිට සිදු කරන වැඩිදුර පර්යේෂණවලදීයි. ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දෙමින් මෙම නව ග්‍රහ මණ්ඩලය සොයා ගත්තේ මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ විද්‍යාඥයින් පිරිසක්.

සිය පර්යේෂණය පිළිබඳ කරුණු අනාවරණ කළ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත් කියා සිටියේ මෙම ග්‍රහලෝක ඇත්තම ග්‍රහලෝකද නැත්නම් තවත් තරුවක්ද යන්න පිළිබඳව සෙවීම සඳහා වැඩියෙන් පර්යේෂණ සිදු කළ යුතු බවයි.

මෙම නව ග්‍රහලෝක සඳහා නම් ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කිරීමක් කෙරුණා.

ආතර් සි ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශ ප්‍රධානී, ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර ප්‍රකාශ කළේ මෙම ග්‍රහමණ්ඩලයේ ජීවය පැවතීමට අවශ්‍ය සාධක ඇති බවයි. 

ශ්‍රී ලාංකිකයින් ලෙස ශ්‍රී ලංකාවේ සිටින මෙම විද්‍යාඥ කණ්ඩායම රටේ නාමය ජාත්‍යන්තරයට ගෙන යාම වැදගත් ආදර්ශයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළා. 

එහිදී "මේකේ ජනතාවට ලැබෙන්න ඕන පළවෙනි පණිවුඩය තමයි මේ වගේ අලුත් දේවල් ලංකාවේ ඉඳලා කරන්න පුළුවන් කියන එක. මේක ඉතාම අමාරු සොයා ගැනීමක්. නමුත් අපි සාර්ථක වුණා. විදේශ සහයෝගයක් නැතුව. මේ වගේ විද්‍යාඥයින් තමයි අපිට අවශ්‍ය. එහෙම නැතුව රටින් පැනලා යන අය නෙමෙයි." යනුවෙන් ද සඳහන් කළා.

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් කණ්ඩායම සොයා ගත් මෙම නව ග්‍රහ මණ්ඩලය පෘථිවියේ සිට අලෝක වර්ෂ 1, 133 දුරින් පිහිටා තිබෙනවා.