Monday, May 6, 2024

General line - 0115112241

පාර්ශ්ව දෙකේ සාකච්ඡාවට එක්වන මුහුණුවල වෙනසක්

තරංග රුක්ෂාන්/සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වන පිරිස වෙනස් කර තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් සහභාගී වන්නේ පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, උප සභාපති මහින්ද අමරවීර සහ නියෝජ්‍ය ලේකම් ලසන්ත අලගියවන්න යන මන්තී‍්‍රවරුන්. මීටපෙර සාකච්ඡා සඳහා එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල හා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස නව සාකච්ඡා වටයෙන් ඉවත් කර තිබෙනවා. 

ශ‍්‍රී  ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් මෙම සාකච්ඡා සඳහා පළමුවරට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද එක්වීමට නියමිතයි. ඒ, මීට පෙර සහභාගී වූ ආචාර්ය ජගත් වැල්ලවත්ත වෙනුවටයි. මීට අමතරව පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම ද, මෙම සාකච්ඡා සඳහා සහභාගී වනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන නව සාකච්ඡා සඳහා සහභාගී වන පිරිස මෙලෙස වෙනස් කර ඇත්තේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

දෙපාර්ශ්වය අතර නව සාකච්ඡා වටය හෙට (27) ආරම්භ වනවා. ඊට ඇති සූදානම පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්නගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ "අද සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තිබෙනවා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පක්ෂ දෙකේ  සාකච්ඡා පිළිබඳව සිය පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳව අනුමැතියක් ගන්නවා.  ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය පිළිබඳවත් මෙහිදි සාකච්ඡා කරනවා." යනුවෙනි. 

එළඹෙන ජනාධිපතිවරණයේදි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණය සම්බන්ධයෙන් අද (26) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ද, දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවද, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. බොහෝදුරට පක්ෂයේ අවසන් තීරණය අද දිනයේදී ගැනීමට හැකි වනු ඇතැයි නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න සඳහන් කළා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.එහිදී සඳහන් කෙරුණේ කිසිඳු අර්බුදයක් නොමැතිව සහ ඉක්මණින්ම සිය අපේක්ෂකයා නම් කළ පක්ෂය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි. ඒ අනුව මේ වන විට බාධා නොමැතිව මැතිවරණ ව්‍යාපාරය ද ආරම්භ කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

නිදහස් පක්ෂය ද ඉදිරියේදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දක්වනු ඇති බවට විශ්වාසයක් ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

පක්ෂ 02 අතර මෙලෙස සාකච්ඡා සිදු වෙද්දි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රචාරක වැඩපිළිවෙල ද, සාර්ථකව සැලසුම් කරමින් ඇති බව මන්තී‍්‍රවරයා සඳහන් කළා.