Tuesday, May 14, 2024

General line - 0115112241

පකිස්තානය, ඉන්දියාවට යළිත් ගුවන් තහනමක් පැනවීමේ සූදානමක

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය යළිත් තහනම් කිරීමට පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අවධානය යොමුව ඇතැයි එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆාවඞ් චෞද්රි පවසනවා. පකිස්තාන භූමිය හරහා ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සමග සිදු කරන වෙළඳ ගනුදෙනු ද තහනම් කිරීමට පියවර ගන්නා බවයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ. කැබිනට් හමුවේදී අග්‍රාමාත්‍යවරයා විසින් මේ පිළිබඳ අමාත්‍යවරුන් දැනුවත් කළ බවද, ඒ අනුව ගොඩබිම් මාර්ග අවහිර කිරීම සම්බන්ධයෙන් නීතිමය කරුණු සලකා බලමින් සිටින බවද අමාත්‍ය ෆාවඞ් චෞද්රි පැවසුවා. 

පකිස්තාන අග්‍රාමාත්‍යවරයා, ඉන්දියාවට එරෙහිව මෙලෙස හදිසි තීරණ ගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ වී නැහැ. එහෙත්, “මෝදි පටන් ගෙන තිබෙනවා, අපි අවසන් කරනවා” යනුවෙන් අමාත්‍ය ෆාවඞ් චෞද්රිගේ ට්විටර් සටහනක සඳහන්.  

ඉන්දියාව සහ පකිස්තානය අතර ඉකුත් දා යළි ඇවිලුණු යුද ගැටුම් හේතුවෙන් පකිස්තානය, මීට පෙර ඉන්දියාවට සිය ගුවන් කලාපය තහනම් කළා. එහිදී දිගු ගමන් වාර සඳහා වැඩි පිරිවැයක් දැරීමට ඉන්දියාවට සිදුවූ අතර ඉන්දියාව අවස්ථා කිහිපයකදී කළ ඉල්ලීම් වලින් පසුවයි පකිස්තානය සිය ගුවන් කලාපය යළිත් ඉන්දිවායට විවෘත කළේ.