Wednesday, May 15, 2024

General line - 0115112241

මහා බාධක කොරල්පරය තවදුරටත් දුර්වල තත්ත්වයට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඔස්ට්‍රේලියාවට අයත් මහා බාධක කොරල්පරය තවදුරටත් දුර්වල තත්ත්වයට පත්වී ඇතැයි එරට රජය පවසනවා. මහා බාධක කොරල් පරය දුර්වල වෙමින් ඇතැයි මීට පෙර අනාවරණ කර ගැනුණු නමුත්, මේවනවිට එහි තත්ත්වය තවදුරටත් දුර්වල වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. 

ඒ හේතුවෙන් කොරල් පරය ආශ්‍රිතව දිවිගෙනම මත්ස්‍යයින්ගේ, කැස්බෑවන්ගේ මෙන්ම මුහුදු පැලෑටිවලද වාසස්ථාන අහිමි වී පැවැත්ම ද අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන්. ඔස්ටේ්‍රලියානු නීතියට අනුව එම වාර්තාව සකස් කරනු ලබන්නේ මහා බාධක කොරල් පරයේ සමුද්‍ර උද්‍යාන අධිකාරිය මගින්. සෑම වසර 05කට වරක්ම එම අධිකාරිය මෙම වාර්තාව සකස් කරනු ලබනවා. 

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහල යාම මහා බාධක කොරල් පරය විනාශ මුඛයට ඇද දැමීමට බලපා ඇති ප්‍රධාන හේතුවයි. ඒ ඔස්සේ සිදුවන සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කොරල් පරය මෙන්ම ඒ ආශ්‍රිතව ජීවත් වන සතුන් හා ශාක ප්‍රජාව ද මියයනවා. 

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඞ් වෙරළ තීරයට ආසන්නව පිහිටා ඇති මහා බාධක කොරල්පරය ලොව විශාලතම කොරල් පරය වනවා. කිලෝ මීටර් 
2, 300 ක මුහුදු සීමාවක් පුරා පැතිරී ඇති එය 1981 වසරේදී ලෝක උරුමයක් ද ලෙස නම් කෙරුණා. මහා බාධක කොරල් පරයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි විශාලත්වය නිසාම අභ්‍යවකාශයේ සිටම එය නිරීක්ෂණය කළ හැකි වීමයි.