Friday, May 17, 2024

General line - 0115112241

බෝරාවරුන්ගේ සමුළුව අද කොළඹදී

දිල්ශාන් තුෂාර/කසුන් කැලුම්




 බෝරාවරුන් 21,000ක පිරිසකගේ සහභාගිත්වයෙන්, බෝරාවරුන්ගේ සමුළුව අද (01) කොළඹදී ආරම්භ වනවා. දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

ඊට රටවල් 40 ක බෝරාවරුන් සහභාගී වීමට නියමිතව තිබෙනවා. මෙම සමුළුව හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පිහිටි සංචාරක හෝටල්වලට ද ඉහළ ආදායමක් ලැබෙන බවයි සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ප‍්‍රකාශ කළේ. 

මේ වනවිට කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් රැසක කාමර මිල ගණන් ද සීග‍්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. එක් කාමරයක් මේ වනවිට අමෙරිකානු ඩොලර් 800කට අධික මිලකට අළෙවි වන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මෙම සමුළුව හරහා ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 130ක ආදායමක් හිමිවන බවද ජෝන් අමරතුංග අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වනවිට ලොව විවිධ රටවල බෝරාවරුන් ලක්ෂ 12කට ආසන්න පිරිසක් සිටින අතර ශී‍්‍ර ලංකාවේ ඉන් 2,600කට ආසන්න පිරිසක් ජීවත් වනවා. බෝරාවරුන්ගේ නායකයා වන ආචාර්ය සෙයිඞ් මුෆාචාල් සයිෆුදීන් ද ඉකුත්දා දිවයිනට පැමිණි අතර එම සමුළුව පැවැත්වෙන්නේ ඔහුගේ ප‍්‍රධානත්වයෙන්. 

කොළඹ, වෙරළ මාවත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් මෙන්ම විශේෂ ආරක්ෂක සැලැස්මක් ද කි‍්‍රයාත්මකයි.