Friday, May 17, 2024

General line - 0115112241

බෝරා සමුළුව නිසි ලෙස කළමණාකරණය නොකිරීමෙන් කොළඹ පාරවල්වල සහ කටුනායක ගුවන් තොටුපළේ දැඩි අසීරුතා

තරංග රුක්ෂාන්/සජිත් තිලකරත්න/ටී කේ ජී කපිල




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි මගීන් රැසක් පසුගිය දින කිහිපයේ දැඩි අසීරුතාවකට පත් වුණා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ නිසි කළමණාකාරීත්වයක් නොමැති වීම මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුව බවයි. 

බම්බලපිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බෝරා සමුළුවට සහභාගී වීම සඳහා විදෙස් රටවල සිට විශාල පිරිසක් පසුගිය දින කිහිපයේ මෙරටට පැමිණියා. එලෙස පැමිණි පිරිස විසි එක්දහසකට අධිකයි.

මේ අයුරින් විශාල පිරිසක් පැමිණිය ද ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපළේ අළුතින් කවුළු හෝ විවෘත කර නොතිබූ බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ. මේ හේතුවෙන් විදේශිකයින් මෙන්ම ශී‍්‍ර ලාංකික ගුවන් මගීන් ද දැඩි අපහසුතාවකට පත් වුණා. ගමන් මලූ නිදහස් කරගැනීමේ කටයුතුවලදී ද ගුවන් මගීන් ගැටලූ රැසකට මුහුණ පෑ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ගුවන් තොටුපළේ  තත්ත්වය පිළිබඳ අදහස් පළ කළ නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු කියා සිටියේ බෝරා සමුළුව හේතුවෙන් දිනකට මගීන් 7000ත් 8000ත් අතර ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණි බවයි. ඔවුන් රැගෙන යාමට පැමිණි රථවාහන නිසා ද දැඩි තදබදයක් ඇතිව තිබූ බවයි පෙන්වා දුන්නේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා සිවිල් ගුවන් සේවා සමාගමෙන් ද විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මගීන්ට සිදුවූ අපහසුතා පිළිබඳ සොයා බලන බවයි. ඉදිරියේදී මෙවන් තත්ත්වයක් යළි ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා බව ද ඔහු ප‍්‍රකාශ කළා.

මේ අතර කොළඹ ප‍්‍රදේශයේ මාර්ග රැසක අද (02) පෙරවරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණා. අද දින පාසල් ආරම්භය සහ බම්බලපිටිය ප‍්‍රදේශයේ පැවැත්වෙන බෝරා සමුළුව ඊට හේතුව බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත්, නෙත් නිවුස් කළ ක්ෂේත‍්‍ර චාරිකාවකදී දැකගත හැකි වූයේ බම්බලපිටිය ප‍්‍රදේශය ආශි‍්‍රතව නිසි රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක නොවන ආකාරයයි. එහෙත් බෝරා සමුළුව හේතුවෙන් බම්බලපිටිය මුහුදු මාවත කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක බව පොලිසිය පැවසුවා.