Thursday, May 16, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය ගැන නිදහස් පක්ෂය විශේෂ ප‍්‍රකාශයකට සැරසේ

සජිත් තිලකරත්න




එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල හෙට (03) දිනයේ එළි දක්වන බව එහි මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පවසනවා. ඒ අනුව, හෙට දිනයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමුළුවේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් එම වැඩපිළිවල ඉදිරිපත් කරනු ඇති බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා වන සංවිධාන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් වෙනු ඇති බවද සඳහන් කළා.

මේ අතර, පක්ෂය මාරු කර වෙනත් පක්ෂ සඳහා සහයෝගය දැක්වූ මන්ති‍්‍රවරුන්ගේ ධූර අහෝසි කිරීම සම්බන්ධයෙන් මේවනවිට කටයුතු ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. ඒ අනුව මීට පෙර එක්සත් ජාතික පක්ෂයට එක්වූ මන්තී‍්‍රවරුන් තිදෙනාගේ මෙන්ම, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ මන්ත්‍රිවරුන් දෙදෙනාගේ ද ධූර අහෝසි කිරීමටයි තීරණය කර ඇත්තේ. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක මීට පෙර ආණ්ඩුවට සහය පළ කළා. ඉකුත් දා එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්තී‍්‍රවරුන් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරවලින් පාර්ලිමේන්තුවට පිවිස පක්ෂය මාරු කළ මන්තී‍්‍රවරුන්ට එරෙහිව පළමුව පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ.