Friday, May 17, 2024

General line - 0115112241

පූජීතට හා හේමසිරිට සහරාන් හෂීම් පිළිබඳ අනතුරු ඇඟවීම් 97ක්




ඉකුත් වසර තුනක කාලයක් තුළ සහරාන් හෂීම් සහ ඔහුගේ ත‍්‍රස්ත කණ්ඩායම සම්බන්ධයෙන් අනතුරු ඇගවීමේ නිවේදන 97 ක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයාට යොමු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද අනාවරණ වුණා. 

එහිදී ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පවසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් අදාළ අනතුරු ඇගවීමේ නිවේදන යොමු කරනු ලැබ ඇති බවයි. බුද්ධි තොරතුරු අනුව ත‍්‍රස්තවාදීන්ගේ නම්, ගම්, ප‍්‍රහාර ක‍්‍රමවේදය සහ ප‍්‍රහාර ස්ථාන පිළිබද නිශ්චිත තොරතුරු ලබා දී තිබියදී වගකිවයුතු බලධාරීන් එම බෝම්බ ප‍්‍රහාරය වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔහු මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙම අදහස් පළ වුණේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද කැදවු අවස්ථාවේදීයි. එමගින් ඉල්ලා තිබුණේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසයි. අදාළ පෙත්සම් වල වැඩිදුර කරුණු විභාගය හෙට දිනට කල් තැබීමටයි මෙහිදී නියෝග කෙරුණේ.

මෙම පෙත්සම් අද දින කැදවුයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි. මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපති දප්පුල ද ලිවේරා පුද්ගලිකව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියා.