Sunday, May 12, 2024

General line - 0115112241

රාජ්‍ය බැංකුවලට අදාළ පනත සංශෝධනය කිරීමේ ඡන්ද විමසීම කල්දමයි

තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර




රාජ්‍ය බැංකුවලට අදාළ පනත සංශෝධනය කිරීමේ ඡන්ද විමසීම ලබන සතියට කල් දමා තිබෙනවා. පක්‍ෂ නායකයින් ඒ පිළිබඳ තීරණයක් ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාද නෙත් නිවුස් වෙත ඒ බව තහවුරු කළා. 

රාජ්‍ය බැංකුවලට අදාළ පනත සංශෝධනය කිරීමේ ඡන්ද විමසීම අද (04) දිනයේ සිදු නොකරන ලෙසටයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඊයේ (03) ඉල්ලීමක් කළේ.

එහි දැක්වුණේ මෙම පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීම හේතුවෙන් බැංකු ක්ෂේත‍්‍රය තුළ සහ සේවකයින් අතර දැඩි විවාදාත්මක තත්වයක් පැන නැගී ඇති බවයි.

එබැවින් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ පුළුල් සංවාදයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය බවද මහින්ද රාජපක්ෂ මහතා, පෙන්වා දුන්නා.

මේ අතර මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට ලක් කරන බවට ගෙනයන දේශපාලන ප‍්‍රචාරණ මුළුමනින්ම පදනම් විරහිත බවයි. රාජ්‍ය බැංකුවක බලයලත් ප‍්‍රාග්ධන සීමාව බිලියන එකේ සිට බිලියන 50 ක් දක්වා වැඩි කර ගැනීම සහ භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණය කර නිකුත් කර ගැනීමේ හැකියාවක් ඇති කර ගැනීම අදාළ පනත් කෙටුම්පතේ අරමුණ බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කළා.