Friday, May 17, 2024

General line - 0115112241

අඩු ආදායම් ලාභීන් සදහා බලශක්ති කාර්යක්ෂම නිවාස සැළසුමක් හදුන්වා දීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා මොරටුව විශ්ව විද්‍යාලය පියවර ගනී




මෙරට නිවාස ඉල්ලුම සපුරාලීම සදාහා වාර්ෂිකව නව නිවාස 100000කට වැඩි සංඛ්‍යාවක් ඉදිවන බව ඇස්තමේන්තු කර තිබේ. මෙසේ ඉදිවන ඇතැම් නිවාස බොහෝමයක් නිර්දේශිත පිළිවෙත් අනුගමනය කිරීමකින් තොරව ඉදිකර ඇති අතර බොහෝ විට ලාංකීය භූගෝලීය හා සමාජ තත්වයන්ට අනුගත නොවන ආකෘතින් වලට අනුව ගොඩනගා ඇත. ශ්‍රී ලංකාවේ ජාතික විදුලි නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පාරිභෝජනය කරන මෙම අඩු අදායම්ලාභී නිවාස බලශක්ති කාර්යක්ශම සැලැස්මකට අනුව ඉදිකිරීම වර්තමාන ජාතික අවශ්‍යතාවයක් වී ඇත. වසර 2030 වන විට  සෑම කුටුම්භයකටම යෝග්‍ය නිවාසයක් ලබාගැනීම සහතික කරමින් ජීවත් වීමට නුසුදුසු නිවාස භාවිතයෙන් ඉවත් කිරීමේ ජාතික ඉලක්කයක් ද පවතී. 


 

ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හරිතාගාර වායු විමෝචනයේ සැලකිය යුතු කොටසක් සඳහා වගකිව යුතුය. දේශීය ගොඩනැගිලි විදුලිබල සැපයුමෙන් 70% ක් පරිභෝජනය කරන අතර දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන ප්‍රක්ෂේපනයන් සමඟ බලන විට ජාතික වාර්ෂික බලශක්ති ඉල්ලුම අනාගතයේ 6% දී ඉහළ යනු ඇති බව නිශ්චිත ය. ශ්‍රී ලංකාව ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය (Intended Nationally Determined Contributions - INDCs) වන්නේ 2030 වර්ෂය වන විට හරිතාගාර විමෝචනයෙන් 7% ක් අඩු කිරීමයි. මේ අනුව, නිවාස හා ගොඩනැගිලි ආශ්‍රිත විමෝචන අවම කිරීම පිලිබඳවද වැඩි අවධානයක් යොමු කල යුතුව තිබේ. 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන අරමුණු අතර මූලික වන බලශක්ති සංරක්ශණය ප්‍රවර්ධනය සහ අඩු ආදායම්ලාභීන්ගේ නිවාසවල බලශක්ති පරිභෝජනය විධිමත් කිරීමේ කාලීන ව්සඳුමක් ලබාදීමේ අරමුණින් බලශක්ති කාර්යක්ෂම නිවාස සැලැස්මක් හඳුන්වාදීමේ වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා දියත් කළේ ය. මේ යටතේ අඩු ආදායම්ලාභි පවුල් සදහා බලශක්ති කාර්යක්ෂම නිවාස ක්‍රමයක් හඳුන්වාදීමේ ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා  ශ්‍රී  ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට එළඹුණි. 2019 ජූලි මස 15වැනි දින මොරටුව විශ්ව විද්‍යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදී.   ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙනුවෙන් එහි හිටපු සභාපති නීතීඥ සාලිය මැතිව්  සහ මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.කේ.සී.කේ. පෙරේරා යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ. 

මෙම ව්‍යාපෘතිය  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පර්යේෂණ ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මකවන අතර 2020 වසරේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේදී මොණරාගල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් තෝරාගත් නිවාස 1000ක නියැඳියක් සමීක්ෂණයට ලක් කෙරේ. එහිදී අඩු අදායම්ලාභී නිවාසවල බලශක්ති පාරිභෝජන රටාව හඳුනාගැනීම හා බලශක්ති පරිභෝජන දර්ශක ගණනය කිරීමට නියමිතය. එම අධ්‍යනයෙන් අනතුරුව අඩු ආදායම්ලාභී නිවාස සඳහා සූර්ය බල ශක්තිය යොදාගන්නා බලශක්ති කාර්යක්ෂම නිවාස සැලැස්මක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ. 
දළ වශයෙන් මෙගා වොට් 4000ක පමණ විදුලි අවශ්‍යතාවක් රටෙහි තිබේ. 


 

වාර්ෂිකව මෙම අවශ්‍යතාව 7%-8%ක් වැනි ප‍්‍රමාණයකින් වැඩිවේ. ඉදිරි වසර දහය තුළ ශ‍්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම රජයේ අරමුණයි. ඒ අනුව සියලූම දේශීය බලශක්ති ප‍්‍රභවයන් හඳුනාගෙන ඒවා සංවර්ධනය කොට විදේශයන්ගෙන් ආනයනික බලශක්තිය මත රඳා පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීමට නියමිතය. සූර්ය බලය වැනි පුනර්ජනනීය ප‍්‍රභව මගින් වැඩි වශයෙන් බලශක්තිය නිපදවීමට තීරණය කර තිබේ. මෙම දැක්ම ඉදිරියට ගෙන යාම සදහා සහාය වීමද මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත. හඳුන්වා දෙන නිවාසවලට අවශ්‍ය විදුලි බලය ලබාගැනීම සඳහා සූර්ය බල පැනලයක් විශේෂයෙන් හඳුන්වාදීමට නියමිතය. 
ආසියාවේ කාලගුණික හා දේශගුණික තත්වයන්ට ගැළපෙන සුවිශේෂී සූර්ය පැනලයක් හඳුන්වාදීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ සහාය මේ සඳහා ලැබෙන අතර ඒ සම්බන්ධ පර්යේෂණය මොරටුව විශ්ව විද්‍යාලය හා චීනයේ Hefei තාක්ෂණ විශ්ව විද්‍යාලය හා එක්ව නිවාස ආකෘති ව්‍යාපෘතියට සමගාමීව සිදුකෙරේ. මෙහිදී හඳුන්වා දෙනු ලබන සූර්ය පැනල, මෙම ව්‍යාපෘතිය හරහා හඳුන්වාදෙන නිවාස වල ප්‍රධාන බලශක්ති උත්පාදකය ලෙස භාවිතා කෙරේ. මෙම නිවාස ආකෘතිය තුළින් ප්‍රවර්ධනය කරනු ලබන බලශක්ති සංරක්ෂණය ශ්‍රී ලංකාවේ බලශක්ති පිරිවැය හා සම්බන්ධ ජාතික බර ලිහිල් කිරීමට දායක වනු ඇත.

2020 වසරේ මුල් කාර්තුව වන විට මෙහි පර්යේෂණ අදියර අවසන් කිරීමට අවසන් කිරීමටත් 2020 වසර මැද භාගය වන විටනිවාස ආකෘතිය හඳුන්වාදීමටත් බලාපොරොත්තු වේ. නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය යටතේ මෙම ආකෘතිය ප්‍රර්ධනය කිරීම 2020 වසරේදී අග භාගයේදී සිදුකෙරෙනු ඇත. මෙහිදී පර්යේශණය හරහා හඳුන්වාදෙන නිවාස ආකෘතියේ ආදර්ශ නිවාසයක්ද 2020 වසරේදී ඉදිකිරීමට බලාපොරොත්තුවේ. පර්යේෂණ වාර කිහිපයකින් පසු ලංකාවේ පරිසර තත්වයන්ට ගැලපෙනම නිවාස මොඩලය මෙහිදී ගොඩනැගීමට නියමිතය.