Saturday, May 11, 2024

General line - 0115112241

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මාසය අවසානයේදී 

ලහිරු කපුගේ




එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගයේ සංවිධාන යාන්ත්‍රණය මේ වනවිට සකස් කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා. මේ මස මැද භාගයේ සිට සිය වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ගෙයින් ගෙට යාමේ වැඩසටහන ආරම්භ කරන බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

" අපි සැලසුමක් ඇතිව අපේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටිනවා. ජාතික ජනබල වේගයේ සංවිධාන කටයුතු බිම් මට්ටමින් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව සැප්තැම්බර් 01 වෙනිදා සියළුම පළාත් පාලන මන්ත්‍රිවරුන් කොළඹට ගෙනල්ලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළා. සැප්තැම්බර් 08 වෙනිදා සිට දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයේ සාකච්ජා ආරම්භ කරනවා. සැප්තැම්බර් මාසයේ මැද භාගයේදී අපි බලාපොරොත්තු වෙනවා ගෙයින් ගෙට ගොස් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න. ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රචාරක රැළි පැවැත්වීමට" මන්ත්‍රිවරයා කියා සිටියා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මෙහිදී කරුණු දැක්වුවා.

" ජාතික ජනබල වේගය ලෙස කමිටුවක් පත් කරලා තියෙනවා ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න. ඒ සම්බන්ධයෙන් අපේ විද්වත් මණ්ඩලය අවශ්‍ය කරුණු සකස් කරමින් සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මාසය අවසන් වන විට එම ප්‍රතිපත්ති මාලාව ජනගත කරන්න" මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියා සිටියා.