Sunday, May 12, 2024

General line - 0115112241

පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැඳවූ විස මත්පැන් පෙරූ සැකකරුට ඇප දීම කල් යයි

කසුන් කැලුම්




පුද්ගලයින් කිහිපදෙනෙකුට මරු කැදවමින් හා තවත් පුද්ගලයින් රැසක් රෝගී තත්ත්වයට පත් කළ මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයාට ඇප ලබාදීම අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් දින 14ක් කල් දමා තිබෙනවා.

ඒ, එය පවත්වාගෙන ගිය කංචන අජිත් නමැත්තාට ප්‍රදේශයේ ජනතාවගෙන් හා සිවිල් සංවිධාන රැසකින් එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගනිමින්. විෂ මත්පැන් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ හා රෝගී වූ පුද්ගලයින්ට සාධාරණයක් ඉටුකරන ලෙස සහ එම ජාවාරම් වැටලීමට කටයුතු කරන්නැයි එම ප්‍රදේශවාසීන් සහ සිංහලයේ ජාතික සංවිධානය ඉකුත්දා පොලිස් මූලස්ථානයට පැමිණිලි 22ක් ඉදිරිපත් කළා. 

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර පිළිබද තොරතුරු දැනුම් දෙන ලෙස මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණා. කෙසේවෙතත් ජනතාව ඒ පිළිබද පොලීසියට සහ සුරාබදු නිලධාරීන්ට තොරතුරු ලබාදුන්නත් ඒ සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන බවයි සිංහලයේ ජාතික සංවිධානය පෙන්වා දෙන්නේ. බාදුරාගොඩදී සිදු වූ මෙම ඛේදවාචකය පිළිබද ප්‍රදේශය භාර පොලිස් ස්ථානයට පැමිණිලි කළද ඊට සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් ඒ පිළිබද පැමිණිලි කිරීමට පොලිස් මූලස්ථානයට පැමිණීමට සිදුවූ බවද එම සංවිධානය සඳහන් කළා. 

විෂ මත්පැන් සහ කෘත්‍රීම රා රටේ දරුණු උවදුරක් බවට පත්ව ඇති බැවින් එවැනි නීති විරෝධී ජාවාරම් වැටලීමට පොලීසිය සහ සුරාබදු නිලධාරීන් කඩිනම් පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවයි බාදුරාගොඩ ප්‍රදේශවාසීන් සහ සිංහලයේ ජාතික සංවිධානය පෙන්වා දෙන්නේ.