Saturday, May 11, 2024

General line - 0115112241

"අන්තයකට නොගොස් කටයුතු කළ හැක්කේ කරූටයි" - පිරිසක් කරූව ඉල්ලයි 




රට තුළ දේශපාලන ආර්ථික හා සමාජීය ස්ථාවර බවක් ඇති කිරිම සඳහා දේශපාලනිකව කිසිදු අන්තයකට නොගොස් මධ්‍යස්ථ හා පරිණත භාවයෙන් යුතුව කටයුතු කළහැකි නායකත්වයක් අවශ්‍යව ඇති බව අද (06) දින කථානායක කරූ ජයසූරිය මහතා හමුවූ ප්‍රධාන පෙලේ  සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් පෙන්වා දී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා සිවිල් සංවිධාන ප්‍රධානීන් 40 කට අධික පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වුණේ.

එහිදී කිසිදු පක්ෂයක සාමාජිකයන් නොවන ලක්ෂ 30කට ආසන්න මධ්‍යස්ථ ජනතාවගේ මෙන්ම සුළුජන කොටස්වලද සහය දිනාගත හැකි, ක්ෂේත්‍ර ගණනාවක පලපුරුද්ද හා රාජ්‍යතාන්ත්‍රික සබඳකම්වලින් සපිරි නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා කෙරෙහි තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවද සඳහන් කළ ඔවුන්, ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සියළු බලවේග ඒකරාශී කර නැගී එන පැසිස්ට්ස්වාදී තර්ජනයට මුහුණ දීම සඳහා නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටියා.

රට තුළ සදාචාර පිරිහීම, මත්ද්‍රව්‍ය හා අපරාධ ව්‍යාප්තිය, උගත් තරුණ තරුණියන් රට හැරයාම වැනි ප්‍රශ්න රැසක්  මුහුකුරා ගොස් ඇති අතර ඒ සියල්ලටම වඩා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යළි අහිමිවනු ඇතැයි යන බිය වර්තමානයේ මතුව ඇති බව ද එම සිවිල් සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙනවා.

අති ධාවනකාරී තීන්දු තීරණ ගැනීම මඟින් මෙම කිසිදු ප්‍රශ්නයක් විසදීමට නොහැකි බව පෙන්වා දුන් ඔවුන් ඒ සඳහා සංයමයෙන් හා  අධිෂ්ඨානශිලිව ක්‍රියා කරන පරිනත නායකත්වයක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.

දූෂිත දේශපාලන අරමුණු රහිතව රටට අත්‍යාවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කර මාතෘ භූමිය ශිෂ්ඨ සම්පන්න මාවතකට ගෙන ආ හැකි විශ්වාසනීය පුද්ගලයා කරු ජයසූරිය මහතා බවයි සිවිල් සංවිධාන නියෝජිතයෝ වැඩි දුරටත් පවසන්නේ.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන් ගොඩනැගු  සාධාරණ සාමාජයක් සදහා වූ බලවේගය ඇතුළු සියළු පුරවැසි ව්‍යාපාර එම අරමුණු වෙනුවෙන්  තව දුරටත් අඛණ්ඩව පෙනි සිටින බව සඳහන් කළ ඔවුහු කරු ජයසූරිය මහතා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය උපරිම ශක්තියෙන් ඒ සදහා දායක වන  බවද කියා සිටියා.

මෙහිදී සිය ප්‍රතිචාරය දැක්වු කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කළේ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස මීට පෙරද ආගමික නායකයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ලැබී ඇති නමුත් එම කරුණ අරභයා බලපොරයක කොටස්කරුවෙකු වීමට තමන් අපේක්ෂා නොකරන බවයි.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පාර්ශ්වකරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් වුවද තමා සලකා බලනුයේ, සියලු කොටස් එකමුතු හා සාමුහික ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන්නේ නම් පමණක් බවද හෙතෙම සඳහන් කළා.

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන කවර අපේක්ෂකයෙකුට වුවද එහි සියළු පාර්ශවයන් හි පූර්ණ එකඟත්වය සහ ආශිර්වාදය අතිශයින් වැදගත් බව ද කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නා.

දේශපාලන ක්‍රියාදාමයක් තුළින් ඉටුකර ගැනීමට කිසිදු පෞද්ගලික අරමුණක් තමාට නොමැති නමුත් මාතෘ භූමියෙහිත්, අනාගත පරපුරෙහිත් අභිවෘද්ධිය  වෙනුවෙන් ඕනෑම කැප කිරිමකට නොපැකිලෙන බවද  හෙතෙම  අවධාරණය කළා.