Monday, May 20, 2024

General line - 0115112241

හේමසිරි සහ පූජිත් කොටස්කරුවන්දැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් චෝදනා කරයි

දිනුක් හේවාවිතාරණ




පාස්කු ඉරුදින මහා ජන ඝාතනයක් සිදුකිරීම සඳහා සහරාන් හෂීම් සිදු කළ කුමන්ත්‍රණයේ, එවකට කටයුතු කළ පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද කොටස්කරුවන් වී ඇති බව චෝදනා කල නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් ඔවුන් දෙදෙනා සහරාන් හෂීම්ගේ පඩි ලැයිස්තුවේ ඇතුළත්ව සිටියේ දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදු කෙරෙන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.

පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ ඇප නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධනය පෙත්සම අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේ විභාගයට ගනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මේ බව අවධාරණය කර සිටියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, රාජ්‍ය බුද්ධි සේවය විසින් 2016 වසරේ සිට ප්‍රහාරය එල්ල වූ අවස්ථාව දක්වා සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳ බුද්ධි වාර්තා 347 පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකර ඇති බව කියා සිටියා.

ඉන් බුද්ධි වාර්තා 131 ක් පොලිස්පතිවරයාගේ අවධානය සඳහා යොමු කර තිබූ බවත් තවත් බුද්ධි වාර්තා 97ක් ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය සඳහා යොමු කර තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

එතරම් විශාල බුද්ධි වාර්තා සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණද ඒවා කියවීමට පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර නොමැති බව පෙනී යන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එසේ කියවා තිබුණේ නම් පාස්කු ඉරුදින  වූ මහා ඛේදවාචකය වළක්වාගැනීමට හැකියාව තිබු බව සඳහන් කර සිටියා.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මුලින්ම අප්‍රේල් මස 4 වනදා රාජ්‍ය බුද්ධි සේවය වෙත තොරතුරු ලැබු බවත් එය එම අවස්ථාවේදීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන විසින් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ බවද  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

එල්ල වීමට නියමිත ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු දැන සිටිය දී අප්‍රේල් මස 09 වනදා පැවති බුද්ධිඅංශ සමාලෝචන රැස්වීමේදී ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිවක් සාකච්ඡා කර නොමැති බව චෝදනා කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස්, පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බළකායට සියලුම පහසුකම් මහජන මුදලින් සපයා දෙන බැවින් මහජනයාගේ ආරක්ෂාව  තහවුරු කිරීමට ඔවුන්ට සුවිශේෂී වගකීමක් පවතින බව ද අවධාරණය කර සිටියා.

පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 16 වනදා කාත්තන්කුඩි ප්‍රදේශයේ දී මෝටර් සයිකලයක බෝම්බයක් පුපුරුවා හැරීමේ සිද්ධියක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය විසින් තොරතුරු පොලිස්පතිවරයා වෙත සපයා තිබුණත් ඒ පිළිබඳව සොයා බැලීමට  පොලිස්පතිවරයා උනන්දුවක් දක්වා නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියා.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට නිශ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් සපයා දී තිබියදීත් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු නොකළ බවත් එසේ කටයුතු කර තිබුණේ නම් මහජන ඝාතනයක් වළක්වාගැනීමට හැකියාව තිබුණු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එවැනි බරපතළ සංවේදී බුද්ධි තොරතුරක් ලැබී තිබියදී කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් විශේෂ බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, මීගමුව ප්‍රදේශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිවාඩු ලබාදීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර තිබීම විමතිය දනවන කරුණක් බවද සඳහන් කර සිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්, පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇප ප්‍රදානය කරමින් කොළඹ මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අසම්මත, අවිධිමත් නියෝගයක් බවට පැමිණිල්ල තුළ බරපතල විවේචනයක් පවතින බව සඳහන් කර සිටියා.

පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එල්ලවී තිබූ චෝදනා සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලපෑ සාක්ෂි පිළිබඳව සවිස්තර බී වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබියදී ඒ පිළිබඳව කිසිවක් සලකා බැලීමකින් තොරව විත්තිය විසින් ඉදිරිපත් කළ වාචික කරුණු පමණක් පදනම් කරගෙන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙන බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන මිනීමැරීමේ චෝදනාවට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරිය කිසිදු බලයක් නොමැති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අවධාරණය කර සිටියා.

මේ හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශිත ඇප නියෝගය අවලංගු කරන ලෙසයි ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබුවා.

වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අප්‍රේල් මස 9 දා පැවැත්වූ බුද්ධි සමාලෝචන රැස්වීමේදී  එල්ලවීමට නියමිතව තිබූ ප්‍රහාරය පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් වරයා කිසිවක් සාකච්ඡා නොකළ බවට  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළත් එම රැස්වීමට සහභාගි වූ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බව චෝදනා නගා සිටියා.

තම සේවාදායකයාට රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් හා තව්හීද් ජමාත් සංවිධානය පිළිබඳව බුද්ධි වාර්තා 97ක් ඉදිරිපත් කර තිබූ බවට රජයේ නියෝජ්‍ සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න තම සේවාදායකයා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළේ දින 150ක් පමණක් බවද පෙන්වා දී තිබෙනවා.