Monday, May 13, 2024

General line - 0115112241

අවසන් තීරණය ගැනීමට පෙර 'රනිල් - සජිත්' හමු වෙයි

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




ජනාධිපති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (06) පැවති එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ රැස්වීමද අවසන් තීරණයකින් තොරව නිමාවට පත්ව තිබෙනවා.

එහිදී එකඟතාව පළ වී ඇත්තේ පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර පැවැත්වෙන තවත් සාකච්ඡාවකින් පසු ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබද අවසන් තීරණයක් ගැනීමටයි. එම සාකච්ඡාව එළඹෙන ඉරිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ රැස්වීම අද පැවැත්වූණේ අරලියගහ මන්දිරයේදීයි. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, පක්‍ෂ සභාපති කබීර් හෂීම්, ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික‍්‍රම, දයා ගමගේ ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඊට එක්ව තිබෙනවා.

නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද පැවති සාකච්ඡාවට එක්ව නැහැ. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ "අගමැතිතුමා නම්‍යශීලි ලෙස අදහස් කිහිපයක් ඉදිරිපත් කළා. අගමැතිතුමා මේ මැතිවරණය දිනන ආකාරය සමීක්ෂණ ලෙස බොහොම පැහැදිළිව පෙන්වා දුන්නා." යනුවෙනි.