Saturday, May 11, 2024

General line - 0115112241

ඊසී කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදු කල්ලියක් කුරුණෑගලදී අත්අඩංගුවට 




ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය සමත්ව තිබෙනවා. මෙම ජාවාරම්කරුවන් පිරිස කාර් රථයකින් ගමන් කරමින් සිටින බවට ලද තොරතුරක් අනුව ක්‍රියාත්මකවූ පොලිසි නිලධාරීන් කුරුණෑගල, නාවින්න වටරවුම ආසන්නයේදී අදාළ ජාවාරම්කරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. 

එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 240 ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදල් රුපියල් 1,375,000ක් තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් ගමන් කරමින් සිටි කාර් රථයේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ කුඩා ළමුන් දෙදෙනෙක් සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

අත්අඩංගුවට ගනු ලැබූ කාර් රථයේ රියදුරු වන චරිත් ලක්ෂාන් අබේසිංහ නම් 33 හැවිරිදි සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 760 ක් තිබී සොයා ගෙන ඇත. එමෙන්ම ඔහුගේ බිරිඳ වන 29 හැවිරිදි කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 800ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ඊට අමතරව කාර් රථයේ සිටි අනෙක් සැකකරු වන 28 හැවිරිදි අරුණ කුමාර දිසානායක යන අය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 ග්‍රෑම් 600 ක් සහ ඔහුගේ බිරිඳ වන 26 හැවිරිදි කාන්තව සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 600ක් සොයා ගැනීමට කුරුණෑගල පොලිසිය සමත් විය.

මෙම කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කල චරිත් ලක්ෂාන් අබේසිංහ යන සැකකරුගේ උයන්දන, මල්ලවපිටිය ප්‍රදේශයේ නිවස පොලිස් නිල සුනඛයින් යොදවා පරික්ෂාවට ලක් කිරීමේදී එහි සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 680 ක් සොයා ගෙන ඇත.

පසුව මෙම සැකකරුවන් ගෙන් පොලිසිය විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට හෙරොයින් ලබාදෙන 57 හැවිරිදි හිටපු ගුවන් හමුදා සෙබලෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් හා සැකකාරියන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමු හා පස්වන සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීමට  මේ මස 14 වනදා දක්වා රැඳවා තබා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන ඇත. අනෙක් සැකකරු හා සැකකාරියන් දෙදෙනා මේ මස 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග ලබාදී ඇත.